Powered By Blogger

Tuesday, June 27, 2017

හීන හා අරගල

                     









 පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම ඒ හීනෙ හැබෑ කරගන්න අපි උඹලා හැමෝම මේ මහා සමාජයේ ඇතුළෙ එහෙට මෙහෙට විසිවෙලා තැලිලා පොඩිවෙලා අනිත් උන් වගේම ජීවිතේට බලාපොරොත්තු එකතු කර ගත්තා.අපේ භාෂාවෙන් කියනවාවම් මාර කට්ටක් කාලා අන්තිමට කැම්පස් ආපුහම උඹලා අපි හැමෝටම හිතුණේ දැන් ඒ හීනෙ හැබෑ කරගන්න තියෙන හොඳම පාර හැදිලා ඉවරයි කියලා.හැබැයි කැම්පස් ඇවිත් මාසයක් යන්නත් කලින්ම කැම්පස් ගොඩක් උන්ට ඒක එහෙම නෙමේ කියලා තේරෙන්න පටන් ගන්නවා.
                   කවදහරි ලස්සනට ටයිල් අල්ලලා හදලා තියෙන ගෙදරක ජීවත් වෙන්න,ලස්සන වාහනයක් ගන්න,ගිනි අව්වෙ පිච්චි පිච්චි අතේ කරගැට එනකම් වැඩ කරන අහිංසක අප්පච්චිට ආඩම්බරයක් වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න හැමදාම කැම්පස් එන්න කලින් කකුල් දෙක අල්ලලා වඳිනකොට ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අනේ මගෙ පුතාට තෙරුවන් සරණයි කියන අම්මට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් වෙන හොඳ රස්සාවක් කරන්න අන්න ඒ වගේ පුංචි හීන ගොඩාරියක් අපේ හිත්වලත් කැම්පස් එද්දී තිබුණා.හැබැයි කැම්පස් ආවට පස්සෙ ඒ හීන හැබෑ කරගන්න පාර කපාගන්න එකම ජීවිතේ නෙමේ කියලා අපිට තේරෙනවා.අපේ අහිංසක අම්මා අප්පච්චි වගේ තවත් මේ මහා සමාජයේ ඉන්න ඒ වගේ අහිංසක මිනිස්සු ඒ වගේම රටේ හිඟන්නගේ ඉඳලා මහා ධානපතියා දක්වා හැමෝම අපිට උගන්නන්න වෙහෙසෙනවා.ඉතින් අපි අපේ බලාපොරොත්තු ටිකක් වෙනුවෙන් විතරක් වැඩ කරන එක යුක්ති සහගතද කියලා හිතන්න කාලය ඇවිත්.
                         ගමේ ඉන්න අහිංසක ගොවියගෙ පුතත් ගොවියෙක්ම වෙන්න ඕනෙද?එයාට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන්න බැරිද?බස් එකේ කොන්දොස්තර,පාරෙ හිඟාකන මනුස්සයාගෙ ළමයි,බස් එකේ ස්විප් විකුණන අක්කගෙ ළමයිනුත් ඉගෙනගන්න ඕනෙ නේද?හැබැයි නිල ඇඳුම් ක්‍රමය වෙනුවට වව්චර් දෙද්දී ඉස්කෝලෙට යන දුප්පත් ළමයින්ගෙන් ඒ ඉස්කෝලෙට තීන්ත ගාන්න,ඩෙස් පුටු ගන්න කියලා හැමදාම සල්ලි ඉල්ලනකොට ,ඒ ඉස්කෝලෙම පහසුකම් ගාස්තු එන්න එන්නම වැඩි වෙද්දී 5 වසරේ ශීෂ්‍යත්වෙ පාස්වුණු ළමයා අලුත් ඉස්කෝලෙට ගනිද්දී පගාව ඉල්ලනකොට අහිංසක මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වෙනවා.ගොඩක් වෙලාවට වෙන්නෙ ඒ මින්ස්සුන්ගෙ ළමයි ඉගෙන ගන්න එක පැත්තකට දාන එක.ඉගෙනීම කියන්නෙ රටේ හැමෝගෙම අයිතියක්.ඒත් මේ වගේ තත්ව ඇතිවෙනකොට වෙන්නෙ ඒ අහිංසක ජනතාව ඒ අයිතිය අත්හරින එක නේද?
               ගමේ ජීවත්වුණු අපිට කොළඹ අහස යට ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා තේරෙන්න කැම්පස් ඇවිත් වැඩිකල් ගතවුණේ නෑ.එක එක විදිහේ මිනිස්සු පාට පාට සරුංගල් වගේ එහෙට මෙහෙට වෙවී ලස්සන ඇඳුම් ඇඳගෙන පාරෙ එහාට මෙහාට යනකොට හැමදාම එකම ඩෙනිමයි,ටී ෂර්ට් දෙක තුනකුයි රබර් සෙරප්පු දෙකයි දාන අපේ හිත පොඞ්ඩක් නවතිනවා.රටේ එක පැත්තක ඉන්න සුපිරි මිනිස්සු තමන්ගෙ එක වේලක් කන්න තරුපහේ හෝටල්වලට ගිහින් දාස් ගණන් වියදම් කරද්දී ඒ රටේම ජීවත්වෙන උඹලා අපි වගේ මිනිස්සු වේල් දෙකක් බඩගින්නෙ ඉඳලා එක වේලක් කාලා දවස යාන්තමට ෂේප් කර ගන්නවා.මහපොළ හම්බවෙකන් දවස් ගණන් කර කර අතේ සතේ නැතුව ඉන්නත් සමහර වෙලාවට ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් කරන්නත් අපිට වෙලා තියෙන්නෙ පවුල ගොඩදාන වගකීමත් අපේ පිට පැටවිලා තියෙන හින්දා.අවුරුද්දට ලස්සන ඇඳුමක් ගන්න,ගමට යනකොට අම්මටයි අප්පච්චිටයි අලුත් ඇඳුමක් අරගෙන යන්න අපිත් ආසයි.හැබැයි අද අපිට ඒවා හීන විතරක්ම වෙලා අපේ ජීවිත අස්සෙම දියවෙලා ගිහින්.
                 දැන් අපිට හිතන්න අලුත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.සයිටම් වගේ උපාධිකඩ තියෙනකොට ජනතාවට මොකද වෙන්නෙ.ඒවාට ලක්ෂ ගණන් ශිෂ්‍යයො බඳවා ගනිද්දී ගොවියාගෙ කම්කරුවාගෙ දරුවො ඇතුල් වෙන රජයේ කැම්පස් වලට ඇයි අඩුවෙන් ශිෂ්‍යයො ඇතුළත් කර ගන්නෙ.පෞද්ගලික උපාධිකඩවලට රජය ලක්ෂ ගණන් වලින් වියදම් කරද්දී කැම්පස් ඇතුළෙ තියෙන අඩුපාඩු වලට පිළයම් කරන්නෙ නැත්තෙ ඇයි?මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න දැන් කාලය ඇවිත්.

සිල්ලරට විකිණෙන ඇය

                මේ ලොව පවත්නා සුන්දරතම වස්තුවලින් එකක් ලෙස කාන්තාව හඳුන්වා දිය හැකිය.ලෝකය පවතිනුයේ ඇය නිසාය.දියණියක්,මවක්,බිරිඳක්,සොයුරියක් ලෙස ජීවිතයේ විවිධ භූමිකා රඟපානුයේ ඇයයි.එහෙත් සමාජයේ සියලු දෙය මුදලට විකිණෙන යුගයකට අප අවතීර්ණ වී ඇති බැවින් අද වන විට කාන්තාවද කොන්දේසි විරහිතව මුදලට අලෙවි වන වෙළඳ භාණ්ඩයක් වී අවසන්ය.
                                බොහෝ විට මෙහි ප්‍රධාන වාහකයා වන්නේ ජනමාධ්‍යයි.එහිදී වෙළඳ දැන්වීම් කලාව තුළ ඇය අලෙවි වීමට පටන් ගෙන ඇත.අද බොහෝ භාණ්ඩ අලෙවි කිරීමට ඇය යොදාගෙන තිබෙනු දක්නට ලැබේ.කාන්තාව යොදා නොගන්නේ ඉතා සීමිත වෙළඳ දැන්වීම් කිහිපයකට පමණි.බොහෝ විට ඒ තුළ දක්නට ලැබෙන්නේ අඳාල නිෂ්පාදනය අලෙවි කිරීමට කාන්තාවන්ගේ ශරීර සිල්ලරට විකිණීම නොවේද?නව ප්‍රවණතාවය වන්නේ ගීතමය රූපරාමු සඳහා ද ඇයගේ ශරීරය යොදා ගැනීමයි.එහිදී ගීතයේ අර්ථය කෙසේ වුවද අඳාල ගීතය ජනප්‍රිය කරවා ගැනීමට කාන්තාවගේ ශරීරය ප්‍රදර්ශනය කිරීම දක්නට ලැබෙන කරුණකි.එසේම ජනමාධ්‍යයේ සිටින බොහෝ නිවේදිකාවන් අඳාල මාධ්‍ය ආයතන විවිධ වැඩසටහන් ජනප්‍රිය කරවා ගැනීමට කෙටි ඇඳුම් පැළඳුම් හැඳ තම සිරුර අඩ නිරුවතින් ප්‍රදර්ශනය කිරනුයේ කිසිදු හිරිකිතකින් ගොරවයි.මෙය වත්මන් සමාජ ප්‍රවණතාවය නොවේද?
                       කෙසේ වුවද අද වනවිට කාන්තාවට බසයක හෝ පොදු ප්‍රවාහන සේවාවක මඟ තොටේදී හෝ නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය ක්‍රමක්‍රමයෙන් ඇහිරෙමින් පවතියි.විවිධ මානසික විකෘතිතාවයන්ගෙන් පිරුණු මිනිසුන් තම ආශාවන් සන් සිඳුවා ගැනීමට කාන්තාව යොදා ගැනීම එයට එක් හේතුවකි.
                     
 මේ නිසාම වර්තමානය වන විට කාන්තා දූෂණ,අපචාර කාන්තාවට සිදුවන බලහත්කාරකම් ආදී ක්‍රියා දිනකට විශාල ප්‍රමාණයක් වාර්තා වෙයි.අප සමාජයේ ගරු කරන පාසල් ගුරුවරු එමෙන්ම ප්‍රජ්‍ය පක්ෂෙයහි පිරිස්ද කාන්තාවන්ට එසේ සලකනු දක්නට ලැබේ.මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස අද වනවිට කාන්තාවගේ විලාසිතා හැසිරීම් ආදිය ද යම් තරමකට හෝ බලපා හැකිය.මව හා දියණිය මහමඟ ගමන් ගන්නා විට මව කවුරුන්ද දියණිය කවුරුන්ද යන්න තෝරා බේරා ගැනීමට අපහසු යුගයකට අප අවතීර්ණ වී අවසන්ය.අද වනවිට අප අඳින පළඳින ගන්නා ආහාර ආදී සෑම සියලු දෙයහි අවසන් තීරකයා ජනමාධ්‍යයයි.මෙය බොහෝ මිනිසුන් නොදන්නා කරුණකි.එහිදී බොහෝ කාන්තාවන් තමන් ජනමාධ්‍යය වෙතින් දකිනු ලබන ඕනෑම විලාසිතාවක් අනුකරණය කිරීමට යාමේදී බොහෝ විට ඔවුනට නොගැළපෙන දෑවලට යොමු වෙයි.එහිදී මව්වරුන් තරුණ දියණියන්ගේ විලාසිතා කිරීමට පෙළඹීම ස්වභාවිකය.අප විලාසිතා කළ යුතුය.එහෙත් ඒවා අපට අපේ සංස්කෘතියට ගැළපිය යුතු නොවේද?කාන්තාවක් බොහෝ සුන්දර වන්නේ තම ශරීරය අන් අයට ප්‍රදර්ශනය කරන විට නොාවේ.ඇය සංවරව හිඳිනා විටයි.කාන්තාවගේ මෙවැනි ක්‍රියා සමාජ අපරාධවලට අතවැනීමක් බව ද කිව යුතුය.
                           අතීතයේ සාරිය යනු කාන්තාවන් ඉතා ගරු කළ අපේ සංස්කෘතිය පිළඹිබු කළ ඇඳුමකි.එහෙත් වර්තමානය වන විට සාරිය ද විලාසිතාවක් වී අවසානය.අන් කිසිදු ඇඳුමකට නොදෙවෙනිව අද සාරිය අඳින කාන්තාව තම ශරිරය ප්‍රදර්ශනය කරනුයේ කිසිදු අපුලකින් තොරවයි.කාන්තාව යනු නිවසක ශ්‍රියා කාන්තාවයි.ඇය තම ශරීරය සිල්ලරට අලෙවි කිරීම කොතරම් යුක්ති සහගත දැයි ඔබ සිතා බලන්න.වර්තමානයේ ඕනෑම ගීතයක් ජනප්‍රිය කරවා ගැනීමට අවශ්‍ය වන්නේ තරුණියගේ අඩ නිරුවත නොවේද?මුදල් ඇත්නම් ඇය තම ශරීරයෙහි අඩ නිරුවත අඳාල ගීතයෙහි ජනප්‍රියතාවය උදෙසා ප්‍රදර්ශනය කිරීමට කිසිදු මැලිකමක් නොදක්වයි.
                      කෙඳිනක හෝ මවක් වන්නේ එකී කාන්තාවයි.ඇය නිවසක විශාල කාර්යන් කොටසක් ඉටු කරයි.එවැනි භූමිකාවක් තුළ කාන්තාවක් තම දරුවන්ට ආදර්ශමත් ලෙස හැසිරිය යුතු නොවේද?මක් නිසාද යත් තම දරුවන්ද කෙඳිනක හෝ අනුකරණය කරනුයේ තම මව වන බැවිණි.තම දියණිය කෙටි ඇඳුමක් හැඳගත් විට ඇයට කරුණු පැහැදිලි කර දීමට නම් මව ශිෂ්ට සම්පන්න විය යුතු නොව්ද?ඇයත් සිල්ලරට අලෙවි වන වත්මන් සමාජයේම එක් අයෙකු පමණක් වේ නම් ඇයට නිවැරදිව මවකගේ භූමිකාව ඉටුකළ හැකිවේදැයි යන්න ප්‍රශ්නයක් මතුවෙයි.බටහිර රටවල ඇති සංස්කෘතිය තමන් වෙත පවරා ගනිමින් ඇතැම් කාන්තාවන් ඉතා කෙටි ඇඳුමකින් සැරසී මහමඟ ගමන් කරනුයේ මෙය උතුම් සංස්කෘතියකින් හෙබි රටක් බවවත් නොතකාය.ඔවුන්ගේ මතය බොහෝ විට ඇත්තේ බටහිර ආභාෂයෙනි.එහෙත් ඉන් ඔවුනුත් නොදැනුවත්වම සිදුවන්නේ විරුද්ධ ලිංගිකයන්ව පිනවීමය.ඔබත් කාන්තාවක් නම් මඳක් සිතන්න.ඔබේ ශරීරය තවදුරටත් ඔබ සිල්ලරට විකුණනවාදැයි කියා.


ජීවිතය




කිලිටි වූ දෑතින්
පිරිමදිනු මැන
සුදු රෙදිකඩක්
චුල්ලපන්තක තෙරුන් මෙන්
රජෝ හරණං රජෝ හරණං
පසක් වුණි නම්
 ඔබට යමක්
ස්වප්නයෙන් විමුක්තව
බලනු මැන
එයයි යථාර්ථය
ජීවිතයේ
පරම සත්‍යය.....

උඹ එනකන්









උසම උස
රෙබරෝසියා ගස් පිරුණු
පේරාදෙණිය වළේ
මනමේ බලන්න
මං උඹ එනකන් බලාගෙන හිටියා
ජිම් කැන්ටිමේ
රස්නෙම රස්නෙ ප්ලේන්ටි බිබී
තට්ට තනියම
උඹ කියලා දුන්න
ගෝර්කිගෙ අම්මා ගැන
කතා කරන්න
මං උඹ එනකන් බලාගෙන හිටියා
තෙල් බැම්මට වෙලා
විප්ලවකාර උඹ ගැන
මං කවි ගොතනකොට
රෝස පාට ලස්සනම ලස්සනම කුඬේ යටින්
එයාගෙත් අතින් අල්ලගෙන
උඹ ගියා
මං ඉස්සරහින්ම
මාව නොදැක්ක ගාණට

නූතන වහල්ලු

               
                                  වර්තමානය වෙනකොට අපි හැමෝගෙම ගොඩක් දේවල් වල තීරකයා බවට තාක්ෂණය නිතරඟයෙන්ම පත්වෙලා අවසන්.අතීත මනුස්සයාට තිබුණ පාරිසරික ඥාාණය දැනුම ටිකෙන් ටික වියැකිලා යනවාත් සමඟම ඔහු තාක්ෂණයට නතුවීම වළක්වන්න බැරි දෙයක් බවට පත්වෙලා තියෙනවා.අතීතයේ මාස ගාණක් අවුරුදු ගණන් කැප කරලා කරන්න සිද්ධවුණ සමහර දේවල් අද වෙනකොට එක ක්ෂණයකින් අපට ගෙදර ඉඳලම කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ තාක්ෂණය නිසාවෙන්.
                       අපි හැමෝම කතාකරන තාක්ෂණය අද වෙනකොට ස්මාර්ට් ෆෝන්,ටැබ්,පරිගණක ආදී ගොඩක් දේවල් වලට ඒකරාශී වෙලා තියෙනවා.ගොඩක් වෙලාවට වර්තමානයේදී අපි ජීවත්වෙන සමාජයේ මිනිස්සුන්ගේ වත්කම මනින ප්‍රධානතම සාධකය වෙන්නෙ ඒ පුද්ගලයගේ ෆෝන් එකේ ස්ක්‍රීන් සයිස් එක.ඒ කාරණයෙන්ම අපි ජීවත් වෙන්නෙ මොනතරම් තාක්ෂණික ලෝකෙකද කියලා අපිට තේරුම් ගන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ.ඉස්සර අපේ අම්මලා අපිට කියලා දුන්න කාරණයක් තිබුණා.ඒ තමයි පුතේ වයසක කෙනෙක් බස් එකකට කෝච්චියකට ගොඩවුණොත් එයාට ඉඳගන්න ශීට් එක දෙන්න කියන එක.හැබැයි තමන්ගෙ ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන හෙඞ්සෙට් කනේ ගහගෙන කඳ ලංකාවේ වුණත් හිත වෙනත් රටක තියාගෙන පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන අපේ මිනිස්සුන්ට වැඩිහිටියෙක් වයසක කෙනෙක් ප්‍රවාහන සේවාවකට ගොඩවුණත් පේන්නෙ නෑ.ඒ තරමටම ඔවුන් තමන්ගෙ ෆෝන් එකට වහල් වෙලා ඉවරයි.
                  සමහර වෙලාවට ගොඩක් මිනිස්සුන්ට වේල් දෙකක් කන්නේ නැතුව බඩගින්නේ ඉන්න පුළුවන්.හැබැයි ස්මාර්ට් ෆෝන් එක නැතිව නැතුව පැයක්වත් ඉන්න බැහැ.ඒ තරමටම මිනිස්සු ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා.ඒ වගේම වර්තමානය වෙනකොට ගොඩක් පුද්ගලයො තමන්ගෙ දවස පටන් ගන්නෙ නිඳි ඇදේ ඉඳලම ෆේස් බුක් එහෙම් නැත්තම් මුහුණු පොතේ සංචාරය කිරීමෙන් කලින් දවසේ තමන් ෆේස් බුක් එකට අප්ලෝඞ් කරපු ෂෙයා කරපු ෆොටෝස් එහෙමත් නැත්තම් පෝස්ට්වලට ලයික් කමෙන්ට් කීයක් ඇවිල්ලද කියලා බලලා තමන්ගේ දවස පටන් ගන්නවා.ඒ වගේම එක ගෙදර ඉඳලත් අම්මලා දරුවන් වැඩිහිටියන් අතර සමිබන්ධකම් ගොඩක් දුරස් වෙන්නත් ඍජුවම තාක්ෂණය හේතුවක් වෙලා තියෙනවා.ඒකෙදී සමහර වෙලාවට ගෙදර අම්මා පහළ තට්ටුවේ ඉඳලා උඩු මහළට දුරකථනයෙන් පුතාට පණිවිඩයක් යවනවා කෑම කන්න පහළට එන්න කියලා.ඒ තරමටම අපේ රටේ ගොඩක් පවුල්වල සම්බන්ධකම් දුරස් වෙලා.
                         අපි පොඩි කාලෙ ජීවිතේ ගැන ඉගෙන ගත්තේ සීයලා අත්තම්මලා කියලා දෙන කතන්දර අහලා.ඒවගෙ හිටියෙ නපුරුකම පරද්දන වීර කුමාරවරු.හැබැයි දැන් ඉන්න ළමයි ඊට වඩා ගොඩක් වෙනස්.අපේ රටේ සමහර ළමයි ඉන්නවා කුඹුරක් දැකලා නෑ.හරකෙක් දැකලා නෑ.ඒ වගේම කවදාවත් සරුංගලයක් හදලා උඩ යවලා නැති.ඇත්තටම ඒ වගේ ළමයි තමන්ගෙ ළමා කාලෙ හැම දේකින්ම මිඳිලා වැඩිපුරම ළං වෙලා තියෙන්නේ ෆෝන් එකට.එහෙමත් නැත්තන් රූපවාහිනියට.ළමයා තමන්ගේ අම්මා එක්ක කතා කරන්න ආවහම නූගත් අම්මලා කරන්නේ ඒක කරදරයක් කියලා හිතලා රූපවාහිනියේ කාටූන් බලන්න නොදරුවන්ව යොමු කරන එක.ඒකෙන් ඒ නොදරුවාගෙ ජීවිතේට ප්‍රචණ්ඩත්වය වපුරන එක සිද්ධවෙන්නෙ හරිම සූක්ෂම විදිහට.දැන් කාලෙ පුංචි දරුවෙකුගෙ අතට ස්මාර්ට් ෆෝන් එකක් අහුවුණොත් ඒකෙ තියෙන හැම දෙයක්ම ඔහු පැය භාගෙන් ඉගෙන ගන්නවා.ඒ ඔහුගෙ තාක්ෂණය ග්‍රහණය කර ගැනීමේ හැකියාව.පරම්පරාවෙන් පරම්පරාවට ඒ හැකියාව ක්‍රමයෙන් දියුණු වෙනවා.
                      ෆෝන් එක කියන්නෙ ඈත ඉන්න මිනිස්සු ළං කරවන තාක්ෂණික උපකරණයක්.හැබැයි ඒකෙන් තමන් ළඟ ඉන්න මිනිස්සුන්ව දන්නෙම නැතුව ඈත් කිරීමකුත් සිද්ධ වෙනවා.සමහර වෙලාවට අපි ෆෝන් එක අතේ තියාගෙන හොඳට ඉගෙන ගෙන වාහනයක් අරගෙන රස්සාවක් කරලා ජීවිතේ හොඳ තැනකට එන්න මනසින් සැලසුම් හදද්දී තමන් ළඟ ඉන්න එකා දවල්ට කාලා නැති වෙන්න පුළුවන්.ඌ දවල්ට කන්නේ කොහොමද කියලා හිතනවා වෙන්නත් පුළුවන්.ඒත් ෆෝන් එකෙන් හීන දකින පුද්ගලයා ඒක දන්නෙවත් නැති වෙන්න පුළුවන්.මොකද ඔහු තමන්ගේ ජීවිතේම ෆෝන් එකට වහල් කරගෙන ඉවරයි.අනාගතේ මිනිස්සු සමහර වෙලාවට උදේට ෘ්ඒ කාලා දවල්ට  උසත්‍ස කාලා රෑට ෆෝන් එක කාලා නිදාගන්න ගියත් ඒ තරම් පුදුම වෙන්න දෙයක් නොවෙන්න පුළුවන්.මේ වහල් බවින් මිදෙන්න කාලය ඇවිත්.තමන් ළඟ ඉන්න කෙනාව අඳුරගන්න.ෆැන්ටසියෙන් ඔබ්බට ජීවිතේ දකින්න පුරුදු වෙන්න.ඔබේ ජීවිතයට ඔබ තව දුරටත් වහලෙකු වනවාද?තීරණය ඔබ අතේ.

ඇය කවරෙක්ද?

                     



                               
වෛශ්‍යාව එසේත් නොමැතිනම් ගණිකාව,අභිසාරිකාව මෙලෙස විවිධ නාමයන්ගෙන් අපි ඇයව හඳුන්වන්නෙමු.ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ ගණිකාවන් හිඳ තිබේ.එහිදී රාජ මහාමාත්‍ය ආදීහු මොවුන්ගේ සේවය ලබාගෙන තිබේ.එහෙත් කුමන ලෙසකින් හැඳින්වූවද ඔබ අප ඇතුලු සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් ඇයව දකිනුයේ සමාජ පිළිලයක් ලෙසටයි.ඇත්තෙන්ම මේ සමාජය තුළ ඇය කවුරුන්ද?ඇයට හිමි තත්වය කුමක්ද යැයි නිවැරදි දෘෂ්ටි කෝණයකින් යුතුව මඳක් සිතා බැලීමට කාලය අපට අවසර දී තිබේ.
                         දුහුල් ඇඳුමකින් ගත වසාගෙන ගොම්මන් වේලාවන්හිඳී වීදි කෙළවරට වී සිටින්නේ ඇයයි.බොහෝ දෙනෙක් ඇයව දුටුවිට පිළිකුල් කරති.බැණ වදිති.මූණ හකුලා ගනිති.එහෙත් ඔබ අපි සියල්ලන්ම සිතිය යුතු යමක් ඇත.එනම් ඇයද මෙම නරුම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයක් බවයි.එලෙස ඇයව පිළිකුල් කරන,ඇයට බැණ වඳින උගත් බුද්ධිමත් යැයි සමාජයේ නම් දරන බොහෝ පිරිස් ඇය සමඟ රාත්‍රියේ දී කාලය ගතකර ඇගේ ගත මත සැතපී ඇගේ ගත මොණර කොළ වලින් වසා දමන්නේ තම පවිත්‍ර නාමය තවදුරටත් රඳවා ගැනීමේ චේතනාවෙන් යුතුවයි.
                        කාන්තාවක් මෙබඳු ඉරණමකට ගොදුරුවීමට බොහෝ විට ඇය අයත් පවුල් පරිසරය හේතුවූවා විය හැකිය.එහිදී ඇගේ ස්වාමියා විසින් ඇයව නොසලකා හැරීම හේතුවෙන් ඇගේ දරුවන්ගේ කුස පිරවීමට මෙම සමාජ ක්‍රමය තුළ ඇයට වෙනත් රැකියාවක් නොමැති වූවා විය හැකිය.තවද ගමේ සිට නගරයට පැමිණෙන බොහෝ තරුණියන්ට රැකියාවක් සපයාදෙන මුවාවෙන් ඇතැමුන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමිය හැකිය.තවද නිවසට හිතුවක්කාර වී නගරයට පැමිණෙන තරුණියන්ටද මෙම ඉරණම ඇතැම් විට හිමිවිය හැකි අතර තවද කුඩා කල විවිධ අතවර වලට භාජනය වන්නන්ටද මෙම තත්වය උරුම වෙයි. සමාජයේ නූතන ප්‍රවණතාවය වන්නේ මවුපියන්ගේ අකමැත්තෙන් විවාහ වන ඇයව තම ස්වාමියා විසින්ම විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබා ගැනීමත් අවසන ඇය ගණිකාවගේ තත්වයට පත්වීමත්ය.
                  මේ ආදී ලෙසට ඇය ගණිකාවක් බවට පත්වීමට කුමන සමාජ තත්වයක් බලපෑවද කිසිවෙකුගේ දියණියකි.මවකි,බිරිඳකි.බොහෝවිට ඇය මෙම වෘත්තියේ නිරත වනුයේ තම කුඩාවුන් පෝෂණය කිරීමට විය හැකිය.ඒ සඳහා ඇයට අන් මඟක් නොමැති  විය හැකිය.ලංකාවේ මෙම වෘත්තියට පත්වූවන් අතරින් සියයට අනූනමයක්ම තමාට ජීවත්වීමට වෙනත් ස්ථීර රැකියාවක් ලැබේ නම් මෙම ක්‍රියාව අත් හැරීමට කැමැත්තක් දක්වයි.කෙසේ වුවද අප සැවොම සිතිය යුතු යම් කරුණක් ඇත.එනම් යම් කාන්තාවක් මෙම තත්වයට පත්වීමට පවතින සමාජ ක්‍රමය ද ආර්ථික විෂමතාවද හේතුවන බවයි.වෛශ්‍යාවන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ගීතයක මෙසේ කියැවෙයි.
“ළඳුනේ...... ළදුනේ 
ඔබේ දෑස් දැක ගත්තෙමි 
සැඳෑ කලෙක ළඳුනේ ...
දෙනෝ දහක් අතගත්තද
සැමියෙකු නැති ළඳුනේ 
ලැම පමණක් ලොවට පෙනෙන 
ළය නොපෙනෙන ළඳුනේ......”
                  මේ ගීතය ගණිකාවන් පිළිබඳව බොහොම උපේක්ෂාවෙන් යුතුව දකින ගීතයක්.ඇත්තෙන්ම සමාජයේ ජීවත්වෙන විට අපට ඇ පිළිබඳව මේ ලෙසට සිතන්නට නොහැකිද?ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම සමාජයෙන් පැමිණෙන අපවාද ගැරහුම් ආදිය සමඟින් ජීවත් විය යුතුද?ඇය දෙස කවියා විලසින් යම් උපේක්ෂාවකින් බැලිය නොහැකිද?මෙහිදී අප සිතිය යුතු වැදගත් කරුණක් තිබේ.
                 එනම් බොහෝවිට ඇයට බැණවදින අපහාස කරනා උන් ඇගේ පහස විඳින්නට පෙළගැසෙන බවයි.එහෙත් ඔවුන් බොහෝ දුරට සමාජයට තම හොඳ මුහුණ පෙන්වන අතර සියලු අපවාද ගැරහුම් පැමිණෙන්නේ එකී කාන්තාවටයි.මේ ලෙස බලන කල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ වරදකරුවන් නම් ඇගේ සේවය ලබාගන්නා උත්තමයන්ද ඒ ලෙසම වරදකරුවන් නොවේ යැයි කිවහැක්කේ කාහටද?
                      කාන්තාවක් මෙම වෘත්තියේ නිරත වුවද බොහෝ පිරිස් මෙයට නැඹුරු වනුයේ තම කැමැත්තෙන් නොවේ.එහෙත් ඇයට ජීවත් වීමට මෙම ක්‍රියාවේ දිගින් දිගටම නිරත වීමට සිදුවී තිබේ.ඉහත කවියේ පැවසෙන ආකාරයට ඇගේ ලැමෙහි තම සිරුර සතපවා ගන්නා උගත් පිරිස් ඇගේ ළයෙහි පවත්නා දුක් ගින්දර නොදකිති.මෙය වත්මන් සමාජ විෂමතාවයයි.ඇය වක්‍රාකාරයෙන් හෙළිදරව් කරනුයේ අප සමාජ ක්‍රමයේ දුබලතාවය නොවේද?ඇය කරන වෘත්තිය යහපත් හෝ උසස් ලෙස දැකීමට යැයි මම නොපවසමි.ඇය මෙම තත්වයට පත්වීමට හේතුවන්නේ බොහෝ විට පවත්නා සමාජ විශමතාවයන් නිසාය.ඇය පිළිබඳව යම් අනුකම්පාවකින් හෝ උපේක්ෂාවකින් හෝ දැකීමට හැකිනම් සමාජයේ යහපත් ලෙස අපට යම් තරමකට හෝ සතුටු විය හැකි නොවේද?මඳක් සිතන්න?දැන් සිතා බැලීමට කාලයයි.



ප්‍රේමයේ ඩිජිටල්කරණය


                     




                               
                          ආදරය කියන්නෙ හරි ලස්සන වචනයක්.ලෝකයේ මේ තරම් මිනිස්සු කැමති වෙන වචනයක් ඇත්තටම නැතිව ඇති.ලෝකයේ පුරාම ඉන්න කවියො,නාට්‍යවේදීන්,සිහිත්‍යධරයන් තමන්ගෙ නිර්මාණ වලට මේ වචනය යොදා ගන්නවා.ඒකට හේතුව මේ වචනයට මිනිස්සු ළඟ තියෙන සංවේදී බවයි.අකුරු හතරක වචනයක් වුණත් මේ අකුරු ටික ඇතුළෙ විශ්වාසය අවබෝධය,බැඳීම,සහයෝගය වගේ අදහස් ගොඩක් හැංගිලා තියෙනවා.
           ඉස්සර කාලෙ ආදරේ කළේ හරිම වෙනස් විදිහට.ඒක හරිම ලස්සනයි.ඒ වගේම හිතට දැනෙනවා වැඩියි.ඒ කාලෙ ආදරේ කරද්දී කතා කරන්න හම්බ වෙන්නෙ හරිම අඩුවෙන්.ගොඩක් වෙවලාවට අදහස් හුවමාරු කර ගත්තෙ ලියුම් ලියලා.ඒ කාලෙ ලියුමක් ලියලා ඒකට උත්තරයක් එනකන් සති ගාණක් බලන් ඉන්නවා.ටික කාලෙකින් ලියුමක් ආවහම හිතට හරිම සතුටක් දැනෙනවා.
                   ඒ වුණාට දැන් කාලය වෙනස්.ඒ වගේම ආදරේ කරන ක්‍රමයත් වෙනස් වෙලා.හැබැයි ආදරේ වෙනස් වෙලා නෑ.ඒ වගේම ආදරේ වයසට යන්නෙත් නෑ.දැන් ඉන්න ගොඩක් තරුණ පිරිස් ආදරේ අත්පොත තියන්නෙ බස් එකේදී එහෙම නැත්තන් මැසේජ් එකකින්. වැරදිලා ආපු මිස් කෝල් එකකින්.ඒ විදිහට පටන් ගන්න ආදරේ ඇතුළෙ අපි ආදරේදී ගොඩක් වෙලාවට හොයන මුලින්ම කිව්ව ආදරේ ඇතුළෙ හැංගිලා තියෙන විශ්වාසය,අවබෝධය වගේ දේවල් නැත්තටම නැති තරම්.මිස් කෝල් එකකින්,මැසේජ් එකකින් ආදරේ කරන්න පටන් අරගෙන දෙවනි දවසෙ ඉඳලා ඒ කෙනාව හම්බවෙන්න ගිහින් ගොඩක් වෙලාවට තුන්වෙනි දවසෙ ඔහුත් එක්ක මවුපියන්ටත් රහසේම ලැගුම් හලකටත් යන තත්වෙට අද තාරුණ්‍යය පත් වෙලා අවසන්.ඒක හරිම ඛේදනීය තත්වයක්.
               අපේ මව්පියන් ලියුම්වලින් ආදරේ කරලා විවාහ වෙලා හරි ලස්සනට සහයෝගයෙන් ජීවත් වෙනවා.හැබැයි දැන් ඉන්න තාරුණ්‍යය දවස ගාණෙ ීඵී යවනවා.fඉ එකෙන් චැට් කරනවා.මොන තාක්ෂණය තිබුණත් ඔවුන් අතර අපේ අතීත මිනිස්සු අතරෙ තිබුණ ආදරේ,සහයෝගය,ඉවසීම වගේ දේවල් නැති වෙලා ගිහින්.දැන් කාගෙල හැමෝම හොයන්නෙ වේගවත් දේවල්.හරියට ක්ෂණික නූඞ්ල්ස් වගේ.ගොඩක් තරුණ තරුණියන් හිතන්නෙ ආදරයත් ඒ වගේ හරි ඉක්මනින් ලබාගන්න පුළුවන් කියලා.
               ඉස්සර කිලෙ තමන්ගෙ ප්‍රේමවන්තිය වෙන කෙනෙක් සමඟ සම්බන්ධයක් හදා ගත්තොත් ප්‍රේමවන්තයා ඒක කොහොම හරි ඉවසගන්නවා.හැබැයි වර්තමානයේදි ප්‍රේමවන්තයන්ට ඒ වගේ පෞරුෂයක් නැහැ.ඔහු කරන්නෙ තමන්ගෙ පෙම්වතියගෙ ඡායාරූප සමාජ ජාල ඔස්සේ හුවමාරු කරන එක.ඒ වගේම ඔහු එතනින් නොනැවතී ඇතැම් විට ඇයව මරා දැමීමට,ඒ වගේම ලිංගික බලහත්කාරකම් කිරීමට පවා ඉදිරිපත්වෙන අනස්ථා ඕන තරම් තියෙනවා.එවැනි සිද්ධීන් අද පුවත්පතක් ගත් විට බොහෝ ගණනක් වාර්තාවෙනවා.
ඉතින් මෙවැනි සිදුවීම් වලින් අපට සිතා ගැනීමට ඇත්තේ මෙය ප්්‍රමය කියාද?ප්‍රේමය නැත්නම් ආදරය කියන්නෙ ඇත්තටම අයිතිකර ගැනීම විතරද?නැහැ.පරිත්‍යාගයටද ආදරය කියන්න පුළුවන්.මට මතක සිංදුවක මෙහෙම ලියවිලා තිබුණා.
“ප්‍රේමයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ”
                              හැබෑ ප්‍රේමවන්තයෙකුගේ හිතට නැ`ුගුණ සිතුවිල්ලක්.හැබැයි දැන් කාලෙ ප්‍රේමවන්තයෝ මේ විදිහට හිතනවානම් ඒක හරිම අවම ප්‍රවණතාවයක්.ඔවුන් ආදරය කියලා දකින්නෙ බොහෝ විට රාගයයි.
                      මේ සියවස තුළ බොහෝ දේවල් අපටත් නොදැනීම ඩිජිටල්කරණය වෙලා අවසන්.ඉතින් මිනිස්සුන්ට සමීප ආදරය වගේ සංකල්පත් ඒ ප්‍රවාහයට හසුවෙලා.ඒවත් එක්ක තරුණයන් ළඟ තියෙන හැම ගුණධර්මයම පිරීහීමට ලක් වෙනවා.ආදරය කරද්දී විශ්වාසය,බැඳීම,අවබෝධය වගේ දේවල් ටික ටික ඈත් වෙන එක වළක්වන්න බෑ.ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙක් වුණ විලියම් ශේක්ෂ්පියර් පවසන්නේ  ඔහුගේ ප්‍රථම ප්‍රේමයේ මිහිර ඔහු මිය යන තුරුත් හදවතේ රැඳෙන බවයි.ඒ කියමනෙන්ම අපට ප්‍රේමයේ බලවත් බව පසක් වෙනවා වගේම වත්මන් තාරුණ්‍යයේ ඩිජිටල්කරණයවූ ප්‍රේමයේ වෙනස අපට මනාවට කියාපාන්නක්.

Wednesday, June 14, 2017

නුඹ සෙවූ ආදරය








සීතලම සීතල
සකුරා මල් පිපෙන
නකජිමා සොහොන ළඟ
සුසුම්ලමින්
සිහිකරමි මම තවම
නුඹ සෙවූ ආදරය
කබුකි රඟහලේදී
වේදිකාව පුරා
ඇස් දුවවමින්
නුඹ සෙවූ ආදරය
පිස්සුවෙන් මෙන්
ටෝකියෝ වීදි පුරා ඇවිදිමින්
නුඹ සෙවූ ආදරය
දෙවොන්දරා
හමුවුණිද නුඹට
නකජිමා සොහොන පාමුල
හුදකලාවේ වැතිර සිටින විට
නුඹ සෙවූ ආදරය






නොනවතින රැවටීම

            


                                      ආණ්ඩු මාරුවෙනවා පක්ෂ හැදෙනවා,ඒ පැත්තේ ඇමතිවරු අනිත් පැත්තට එනවා.අනිත් පැත්තෙ අය ඒ පැත්තට යනවා.මිනිස්සුන්ට පොරොන්දු දෙනවා,ඡන්දය දිනනවා.මේ හැම එකක්ම අපේ රටේ මිනිස්සුන්ට හරිම හුරු පුරුදුයි.හරියට උදේට දවල්ට,රෑට කන කෑම වගේ.කොහොම වුණත් මේ හැමදේම අස්සේ තාමත් එදා වගේම ජීවත් වෙන්න සටන් කරන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට.එහෙම නැතුව උදේට මැක්ඩොනල්ඞ් එකෙන් කාලා දවල් කෑමටත් දාස් ගාණක් වියදම් කරන ලොකු මිනිස්සුන්ට නෙවෙයි.එක වේලක් කන්න දාස් ගාණක් වියදම් කරන මිනිස්සු අතරේ තවමත් බත් ඇටයක් කන්න හීන දකින මිනිස්සු අපේ රටේ ජීවත් වෙනවා.
                   හැමදාම බලයට පත්වෙන පාලකයො කරේ දැන් කරන්නෙත් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක.මීතොටමුල්ලෙ කුණු කන්ද පෙන්න පෙන්න මං මේක මේ ඡන්දෙන් දිනපු ගමන්ම මෙතනින් අයින් කරනවා කියපු පාලකයන්ට තමන් ඡන්දය දීනලා සතියක් යන්නත් කලින්ම ඒක අමතකයි.ඒක තමයි මේ පාලන ක්‍රමය.ඒ වගේ දේවල් පාලකයන්ට අමතක වෙන්න  තියෙන්නේ ප්‍රධාන හේතුවක්.ඒ තමයි කුණු කන්ද එතන තිබ්බොත් ඊළඟ ඡන්දෙනුත් ඒ මිනිස්සුන්ට පොරොන්දු ටිකක් දිලා දිනන්න පුළුවන්.කුණු කන්ද අයින් කළොත් දිනන්න තියෙන අවස්ථාව නැති වෙනවා.අන්තිමට කුණු වලට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන තත්වෙට පත් වුණෙත් අහිංසක මිනිස්සු.මිනිස්සු අවුරුදු ගාණක් තිස්සෙ ඉඳලා එන මේ ක්‍රමයට  දැන් හුරු වෙලා.ඒ හින්දම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තත්වෙට මිනිස්සු පත් වෙලා තියෙන්නෙ කාලයත් එක්කමයි.
                         අපි බොන වතුර ටිකට,කන බත් ඇටයට,සෞඛ්‍යට,අධ්‍යාපනයට මේ හැම දේටම මේ වෙනකොටත් මිලක් නියම වෙලා ඉවරයි.ඒක තමයි මේ ක්‍රමයෙ හැටි.රජරට ගොවියා තමන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් නැතුව වකුගඩු ප්‍රශ්නෙන් අවුරුදු ගාණක් දුක් විඳිද්දී පාලකයන්ට ඒවා දැනෙන්නේ නැද්ද?අධ්‍යාපනයට මිලක් නියම කරලා එක එක ප්‍රමිතියක් නැති උපාධි කඩ දාලා තවමත් යම් තරමකට හරි ඉතුරුවෙලා තියෙන නිදහස් අධයාපනය,සෞඛ්‍ය විකුණන්න හදන ප්‍රතිපත්ති ගේන්නෙ ඇයි?අද අපට මේ හැමදේම ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා.රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා පොරොන්දු වුණ පාලකයන්ට උපාධිධාරියාට සුදුසු රැකියා දෙන්න බැරි වුණේ ඇයි?ඇත්තටම මේ වගේ ප්‍රශ්න එනකොට හැමදාම වගේ බලයට එන ආණ්ඩු කරේ ප්‍රශ්න යට ගහලා තිත්ත ටොෆියක සීනි තවරලා මිනිස්සුන්ට ගිල්ලවන එක නේද?පාලකයො එක එක ආණ්ඩුව අතරෙ බෝලය පාස් කරන සෙල්ලමේදී හැමදාම වගේ ප්‍රේක්ෂකයො බවට පත්වෙන්නෙ සාමාන්‍ය ජනතාව.  
                     තමන්ට දරා ගන්නත් බැරි තරම් බදු බරක් අද වෙකොට ජනතාව මත පැටවිලා තියෙනවා.පාලකයන්ට බදු රහිත වාහන ගේනකොට සාමාන්‍ය මඟියා ගමන් කරන බස් ගාස්තු වැඩිකරනවා.ඉතින් මේ වගේ දේවල් කොච්චර නම් සාධාරණද?ඖෂධ ප්‍රතිපත්තියක් ගේනවා කියලා බලයට පත් වුණ ආණ්ඩුවට තවමත් කියපු විදිහට ඖෂධ ප්‍රතිපත්තියක් ගේන්න බැරි වෙලා තියෙනවා.හැමදාම වගේ බලයට එන ආණ්ඩු පවතින්නේ ජනතාවගේ බදු සල්ලි වලින්.හැබැයි ඒක ජනතාවට දරන්න පුළුවන් විදිහට කරගෙන යන්න පාලකයන් උපක්‍රමශීලී වෙන්න ඕන. පොරොන්දු දාහක් මිනිස්සුන්ට දීලා බලයට එන ගොඩක් පාලකයන්ට අන්තිමට එක පොරොන්දුවක් හරි මතක තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
             අධ්‍යාපනය,සෞඛ්‍ය,බලශක්තිය වගේ රටේ ප්‍රධාන ක්ෂේත්‍රවල ගැටලු පාලකයන්ට හැමදාම විසඳන්න බැරි වෙන්නේ ඇයි?බලයට පත් වෙන හැම ආණුඩුවක්ම වගේ කරන්නේ තමන්ගෙ අවුරුදු ගාණ ඇතුළත කොහොම හරි රෝල ගහගෙන අනිත් කෙනාට රට බාරදෙන එක.ඔවුන් ඒකෙදී තීරණ ගන්නෙ රටේ ජනතාව ගැන හිතලා නෙවෙයි.තමන්ගෙ දීර්ඝ කාලීන පැවැත්ම ගැන හිතලා.ඉතින් එහෙම වෙනකොට අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පැවතීමත් දරාගන්න බැරි තරමට අධික ණය බරකින් පෙළෙන එකත් ඒ තරමටම පුදුම වෙන්න දෙයක් නෙමෙයි.ඉතින් මේ හැමදෙයක්ම අස්සේ තාමත් එදා වගේම වැඩිපුරම අසාධාරණයට ලක්වෙන්නෙ කවුද?සාමාන්‍ය ජනතාව වෙන අපිට ඒ ගැන බුද්ධියෙන් විමසන්න කාලය ඇවිත්.  


Monday, June 5, 2017

විකිණෙන උපාධිය


                     











                             

                                 
අපි A/L කරපු කාලෙ හරි ලස්සන හීනයක් දැක්කා.ඒ තමයි කවදහරි කැම්පස් එකකට ගිහින් ඉගෙන ගන්න එක.ඒ හීනෙ හැබෑ කර ගන්න ඇඟිලි ගැන ගැන හිටපු කාලෙකුත් තිබුණා.කොහොමින් කොහොම හරි කැම්පස් එකකට ඇවිත් ඉගෙන ගන්න මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා.හැබැයි අපි A/L කරන කාලෙ දැක්ක ඒ දැක්ක ඒ ලස්සන කැම්පස් ඇතුළේ නෑ කියලා දැන් අපිට තේරෙනවා.ඒක තමයි කැම්පස්වල තියෙන කටුක යථාර්ථය.
                   මේ වෙනකොට රජයේ කැම්පස් හැම එකකම වගේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා.ඒ අතර අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම හැමදාම වගේ ප්‍රධානත්වයක් ගන්නවා.සයිටම් එකට අනුමැතිය දෙන්න දඟලන අපේ රටේ පාලකයන් නිදහස් අධ්‍යාපනයට කුඩම්මාගෙ සැලකිලි දැක්වීම හරිම ජුගුප්සාජනකයි.
               අපේ රටේ අධ්‍යාපන ඇමතිවරු AIDS වගේ ලෙඩක් හැදෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැති පිරිසක්.ඉතින් මේ වගේ පිරිසක් කොහොමද රටේ අධ්‍යාපන ගැටලු විසඳන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා.සයිටම් වගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න පොරකන පාලකයන් ඒ වගේම සැලකිල්ලක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් ලබා දුන්නා නම් විශ්වවිද්‍යාල පද්ධති වල ඇතිවෙන මේ වගේ ප්‍රශ්න ගොඩක් දුරකට විසඳන්න තිබුණා.නමුත් බලධාරීන් ශිෂ්‍ය ජීවිත බිල්ලට දෙන ගමන් කරන්නේ ඔවුන්ගේ කාලය මුළුමනින්ම අපතේ යැවීමක් නොවේද?
                  අවුරුදු හතරකින් උපාධිය අරගෙන හොඳ රස්සාවක් කරන්න බලාගෙන කැම්පස් ආපු අපිට අන්තිමට වෙන්නේ අවුරුදු පහ හයක් කැම්පස් එකට වෙලා ඉඳලා අන්තිමට රස්සාවක් ගන්නත් නූගත් දේශපාලකයන්ගේ කකුල් ලෙවකන්න වෙන එක.නූගතුන් ඉහළ රැකියාවල වැජඹෙන යුගයක රටේ උගත් පිරිස වන උපාධිධාරීන්ට සිද්ධ වෙන්නෙ තමන්ගේ උපාධිය ගෙදර තියාගෙන තවදුරටත් තමන්ගෙ දෙමව්පියන්ගෙන් පිනට කකා ඉන්න.අන්තිමට ඒ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් වගේම රටේ පාලකයන්ගෙන් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් වෙලාවට හරිම කාලකණ්ණි ස්වරූපයක් ගන්නවා.තමා කොතරම් නූගත් වුණත් බලය යන සාධකය තමන්ට තියෙයි නම් රජයේ රස්සාවක් ගන්න එක අද හරිම පහසු දෙයක.්ඒක මේ රටේ කුණුවෙලා ගඳගහන දූෂිත දේශපාලනයේ අතීතයේ ඉඳලාම තිබුණු අනන්‍යතාවයක්.
                      ශිෂ්‍ය අරගල,මහාචාර්යවරුන්ගේ වර්ජන,දේශන ශාලා පිළිබඳ ගැටලු,නේවාසිකාගාර ගැටලු,බොහොමයක් හැම රාජ්‍ය විශ්වවිද්‍යාලයකම වගේ තියෙන පොදු ගැටලු.හැබැයි පාලකයන් ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව ඒවට පැලැස්තර දාන එක.අතීතයේ ඉඳලාම සිද්ධ වුණෙත් මේ වෙනකොට කැම්පස් ඇතුළේ හැමදාම වෙන්නෙත් ඒ තියරියමයි.අද අපිට මේ හැම දෙයක් ගැනම ප්‍රශ්න කරන්න දෙපාරක් හිතන්න වෙලා.ඒ ශිෂ්‍ය මර්දනය ඒ තරමටම ප්‍රබල හින්දා.අසාධාරණයට විරුද්ධ වෙන ගොඩක් ශිෂ්‍යන්ට වෙන්නෙ පහුවදාට උසාවිය ඉස්සරහට ගිහින් පෙනී ඉන්න.මේ රටේ හොරු දූෂකයන් වැරදි කරලා සතියකටත් කලින් ඒ අපරාධ වලින් නිදහස් වෙදද්ී කැම්පස් ළමයි මහා ලොකු අපරාධ කාරයන්ටත් අන්ත විදිහට මාස දෙක තුන හිරේ ඉන්නවා.ඉතින් නීතියේ දෙවඟනගේ අන්ධ බව අපට තවදුරටත් ප්‍රශ්න ඉතුරු කරනවා.
උපාධිය ගන්න දවසේ හිතට ලෙකු සතුටක් දැනෙන්නේ ඒ වෙනකන් ආපු ගමන මල් යහනාවකින් ආවෙ නැති හින්දා.ඒකයි ගොඩක් අයගේ ඇස්වලට එදාට කඳුළු උනන්නේ.හැබැයි ඒත් එක්කම ඊළඟට එන ප්‍රශ්නය විරැකියාව.ඉතින් දූෂිත දේශපාලකයන්ගේ කකුල් ලෙවකන්න සලස්වන උපාධිය අපට අවසන ඉතිරි කර දෙනුයේ කුමක්ද?

නූතන විවාහයේ යථාර්ථය


                     








                         

විවාහය යනු අතිපූජනීය වූ බැඳීමකි.එහෙත් වර්තමානය වන විට විවාහයටද වාණිජවාදී මුහුණුවරක් ආරෝපණය වී අවසන්ය.ඒ තුළ සම්ප්‍රදායික විවාහය තුළ තිබූ සිරිත්,විරිත්,විශ්වාස,බැඳම් ආදී සෑම සියලු දෙයක්ම නවීකරණයට බඳුන් වී ඇත.
                    අද වන විට විවාහය යනු වෙනස්ම ආකාරයේ සංස්කෘත අංගයක් බවට පත් වී ඇත.මෙහිදී එයට සහභාගී වන පිරිස් හට එදිනට ඇඳීමට අවශ්‍ය වන ඇඳුම පවා පැහැදිලිව කියාපෑමට ආරාධනා පත කටයුතු කරනු ඇත.එමෙන්ම ඔවුන් හිඳ ගත යුතු ආසනය පවා ආරාධනා පතෙහි සටහන් කිරීමට විවාහය අයත් පාර්ශවය කටයුතු කරයි.තවද විවාහයන් විවිධ තේමා යටතේ පැවැත්වීම වර්තමානයේ දක්නට ලැබෙන නව ප්‍රවණතාවයකි.එහිදී මෙවැනි දේවල් සාමාන්‍ය ජනයා අතරට පවා පැමිණීම සිදුවන්නේ මාධ්‍ය විසින් ඒවාට දෙනු ලබන දැඩි ප්‍රචාරණය නිසාය.
              සුඛෝපභෝගී ජීවිත ගත කරන බොහෝ දෙනෙකුගේ විවාහයන් විවිධ මාධ්‍ය ආයතන විවාහයන් තේමා කරගත් වැඩසටහන් තුළින් විකාශය කෙරෙන අතර අනිත් පිරිසගේ සිත් තුළටද මෙවැනි විවාහයන් ගැනීමේ සිහිනයන් ඇතුළත් කිරීමට ඔවුහු කටයුතු කරනු ලබයි.කෙසේ වුවද එම මාධ්‍යයන් මූලිකවම ක්‍රියා කරනුයේ විවාහය යන බැඳීමට වටිනාකමක් දීමට නොව විවිධ ව්‍යාපාරික ප්‍රජාවන් වෙත ප්‍රචාරණයක් ලබාදීම බව නොවැටහීම  කණගාටුවට කරුණකි.
                  එපමණක් නොව වර්තමානය වන විට විවාහයේ ඡායාරූප ගැනීමටද අඳාල පිරිස් විශාල මුදලක් වැය කරනු ලබන අතර විවාහයේ සෑම දෙයක්ම සිදු කරනු ලබන්නේ ඡායාරූප ශිල්පියාට අවශ්‍ය පරිදිය.බොහෝ විට ඡායාරූප ශිල්පියා විවාහයේ අත්තිකාරමක් ලෙස විශාල මුදලක් අඳාල පාර්ශවයෙන් ගනු ලබන්නේ ඡායාරූප ඇල්බමය ලබා දීමට ගතවන මාස කිහිපය ඇතුළත වුවද අඳාල මනාල යුවල තම විවාහය දික්කසාදයකින් කෙළවර කරගෙන තිබුණහොත් තමාට විශාල මුදලක් අහිමි වන බැවිණි.
                   ඇඳුම් පැළඳුම් සඳහා විශාල වියදමක් දැරීම වර්තමානයේ විවාහ යුවලවල් සිදු කරති.තම මංගල සාරියට ඇතැම් විට මිලියන ගණන් වියදම් කළ පුවත් පසුගිය සමයේ මෙරටින් වාර්තා වූයේ දුටුවන් සිනහ උපදවමිනි.ඇත්ත වශයෙන්ම තම මංගල සාරියට එතරම් මුදලක් වැය කිරීම අවශ්‍ය දැයි සිතා බැලිය යුත්තකි.තම විවාහය සඳහා අවශ්‍ය තරමටත් වඩා විශාල වියදමක් කරන පිරිස් තම විවාහය සාර්ථකව මාස 6ක් පවත්වා ගැනීමට ඇතැම් විට අසමත් වෙයි.මක් නිසාද යත් ඔවුන්ගේ සිතුම් පැතුම් ආදී සෑම සියලු දෙයක්ම වාණිජකරණයට ලක්ව ඇති නිසාය.කෙසේ වුවත් මාධ්‍ය මෙහිදී විශාල කර්තව්‍යක් ඉුටු කරනු ලබන අතර ඔවුන් මූලිකවම නිරත වනුයේ යෞවන  යෞවනියන්ගේ සිහින අලෙවි කිරීමේ ක්‍රියාවලියකය.
             වර්තමාන තරුණ පිරිස් වටහා ගත යුත්තක් පවතියි.එනම් තම විවාහය අති විශාල ශාලාවක අති විශාල වූ වියදමක් දරා සිදු කළද විවාහය සාර්ථක කර ගැනුමටද කටයුතු සිදු කළ යුතු බවයි.විවාහයට වියදම් වූ මුදල එය සිදු කළ ආකාරය ගැන ලොවට ලෙනෙන්නට පාරම් බෑවද විවාහ වන දෙදෙනා අතර විශ්වාසය,අවබෝධය එකිනෙකා අතර හැඟීමක් නැත්නම් තම විවාහයට සිදු කළ අති දැවැන්ත වියදමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැත්තේය.කෙසේ වුවද මෙලෙස විශාල මුදලක් වියදම් කොට ලොවට පෙනෙන්නට සිදු කරනු ලබන විවාහයන්වල බොහෝ විට පෝරුවට නඟිනු ලබන මනාලියගේ පවිත්‍රතාවයද ගිලිහී ගොස් ඇත.එහෙත් ඔවුන් මේ සියල්ල ඉවත දමා තම විවාහය කාහටත් නොදැවෙනි සේ ඉටුකර ගැනීමට උත්සුක වනුයේ විවාහයේ සැබෑ අරුත හෝ වටහා නොගනිමිනි.
                අතීතයේ විවාහය තුළ තිබූ සරලත්වය,සිරිත්,විරත්,විශිවාසය,බැඳීම් ආදී බොහෝ දේවල් වර්තමානය වන විට ක්ෂය වෙමින් පවතින්නේය.ඇතැම් විට මෙම බොහෝ චාරිත්‍ර යුරෝපීකරණයට හසු වී ඇති අතර තරුණ පිරිස් මෙවැනි දේවල් ඵල රහිත හණමිටි ක්‍රියාවන් ලෙස ගනිමින් ඇතැම් යුරෝපීය දේවල් තම විවාහයට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබන්නේය.ඇතැම් විට මෙය ඔවුන්ගේ බුද්ධි මට්ටම පිළිබඳව ප්‍රශ්නයක් වන අතර ඔවුන්ගේ මවුපියන්ද මෙයට යම් තරමකට වගකිව යුතුයි.  

බලන් කඩතුරා හැර දෑසේ


                             








                           

                                   
ඕනෑම රටක් නිවැරදි විදිහට පාලනය වෙන්න,ඒ වගේම යහපත් සංවර්ධනයක් උදා කර ගන්න නම් ඒ  රටට හොඳ දේශපාලනයක් තියෙන්ඩ ඕනෙ කියන එක මේ රටේ ඉන්න පොඩි ළමයට පවා තේරෙනවා.රටේ මිනිස්සු ඒ කියන්නෙ ඔයාලා අපි වගේ මහජනතාව ඡන්දයකින් තෝරගත්ත එක්කෙනෙක්ව විතරක් පාර්ලිමේන්තු යවන්නෙ රටේ මහජනතාව විදිහට අපේ ප්‍රශ්න කතා කරන්න අපි හැමෝටම පාර්ලිමේන්තුවට යන්න බැරි හින්දයි.
                 ඒ වුණත් දැන් දැන් මේ රටේ දේශපාලකයො කරන වැඩයි මාධ්‍ය ඉස්සරහට ඇවිත් ඒ දේවල් ගැන කියන දේවලුයි දැක්කහම අපි පාර්ලිමේන්තු යැව්වෙ මේ වගේ අං තියෙන අයද කියලා හිතෙනවා.අවුරුද්ද පටන් ගත්ත වෙලේ ඉඳලා ගිනි රස්නෙ කාෂ්ටක අවුවෙන් පිච්චුන මිනිස්සුන්ට ස්වභාවධර්මයත් නපුරු වෙලා වගේ එක පාරටම ගං වතුර,නාය යාම්,ජීවිත දේපල හානි මහ ගොඩක් දීලා යන්න ගියා.ඇත්තටම මේ හැම එකකින්ම බැට කන්නෙ ඔයාලා අපි වගේ සාමාන්‍ය මහජනතාව වෙන එක හරිම ඛේදජනකයි.අපි නිදහස ලබා ගත්ත දවසෙ ඉඳලම මේ රට ප්‍රධාන පක්ෂ දෙකක් පාලනය කළා.ඒත් ඒ පක්ෂ වල හිටිය දේශපාලකයො ගොඩක් වෙලාවට කරේ තමන්ගෙ ඩඩගෝස්තරවාදී සංකල්පය එළියට දාලා මහජනතාවගේ ප්‍රශ්න යට ගහපු එකයි.ඉතිහාසයේ එදා ඉඳලා අද වෙනකම් වෙන්නෙ ඒ තියරියම නේද?
                     රටේ ජනතාවගේ ඡන්දයෙන් පත් වුණ දේශපාලකයන් වුණහම කරන්න ඕන මූලිකම දේ තමයි රටේ ජනතාවට සේවයක් කරන එක.ඒ වුණත් අපේ රටේ දේශපාලකයන්ට බලයට පත් වෙලා සතියක් යන්නත් කලින්ම ඒ හැමදේම අමතක වෙලා තමන් වටේට පුළුවන් තරම් බලය,ධනය ගොඩනඟා ගන්න එක ප්‍රධාන අරමුණ වෙනවා.ඇමති මණ්ඩලය 20,30 ට සීමා කරනවා කියලා පොරොන්දු වුණ පාලන අධිකාරිය මේ වෙනකොටත් ඒ වගේ හතර පස් ගුණයක් වැඩි කරගෙන තියෙනවා.ඉතින් මේ අති විශාල ඇමති මණ්ඩලයේ වියදම් දරන්න ඕන මේ රටේ බදු ගෙවන ජනතාව.ඒ වගේම 11%වෙලා තිබුණ වැට් බද්ද 15% වෙනකම් මේ වෙනකොට වැඩි කරලා ඉවරයි.අපි බොන ප්ලේන්ටියේ,කන බත් පැකට් එකේ,ලෙඩකට ගන්න බෙහෙත් පෙත්ත මේ හැම දේම ගණන් වැඩි වෙලා.එක වේලක් කාලා අනිත් වේල කන්නෙ කොහොමද කියන එක දස අතේ කල්පනා කරන්න වෙලා තියෙනවා.ඒ සේරම අස්සෙ පාර්ලිමේන්තු යන අපේ දේශපාලකයන් කරන්නෙ තමන්ට කවත් සැප වාහන ගන්න පාර්ලිමේන්තුවෙන් සල්ලි වෙන්කර ගන්න එක.ඇමතිවරු ඒ වගේ ආත්මාර්ථකාමී වෙලා සල්ලි වෙන් කර ගනිද්දී දුප්පත් මිනිසුසුන්ගෙ වාහනේ වෙන ත්‍රීවීල් එකෙත් ගාන අපිට දරන්ඩ බැරි තරමටම වැඩි කරලා තියෙනවා.ඒ අස්සෙ ප්‍රසිද්ධඇමතිවරු මාධ්‍ය ඉස්සරහට ඇවිත් වාහන වල බදු වැඩි කරපු එක ගැන ගොන් පාට් කථා කියනකොට මේ රට පාලනය කරන පාලකයන්ගෙ ඔළුව කියන දේ ඇතුළෙ තියෙන මොළේ නැත්තටම නැති වෙලාද කියලත් හිතෙනවා.
                  බලයට ආපු දවසෙ ඉඳලම ප්‍රධාන මාතෘකාව වුණ හොරු ඇල්ලීම මේ වෙනකොට කවදාවත්ම වෙන්නෙ නැති බව අපට තේරෙනවා.ඒකට හේතුව වෙන්නෙ මේ රටේ ඉන්න ලොකුම හොරු ටික ඉන්නෙ පාර්ලිමේන්තුවෙ හින්දා.කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑ කියලා අපේ ජන වහරෙ එන කියමනක් තියෙනවා.ඉතින් අපට දැන් පැහැදිලි වෙන්නෙත් ඒකම නේද?සිද්ධ වෙලා තියෙන්නෙ පාලනය මාරු වීමක් විතරයි.දෙපැත්තෙම ඉන්නෙ දූෂකයන්ය.දෙපැත්තට බෝලය පාස් කරන න්‍යාය තවමත් සිද්ධ වෙන්නෙ කිසිම වෙනසක් නැතුව.අපි තාමත් රැවටෙනවා.අධ්‍යාපනය,සෞඛ්‍ය හැමදේම පෞද්ගලීකරණය වෙනවා.මේ හැමදේම දරා ගන්ඩ සිද්ධ වෙන්නෙ මේ රටේ මහජනයාටයි.අපිට අපි ගන්න තීරණ හරිද වැරදිද කියලා හිතන්න මේ වෙනකොටත් ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා.අපි හැමෝගෙම ඇස් බැඳලා තියෙන කඩතුරාව ලිහන්න කාලය ඇවිත්.

 


Sunday, June 4, 2017

අාදරණීය දුයිෂෙන්












ආදරණීය දුයිෂෙන්
මතකද නුඹට ඈත අයිල
අප සිටවූ පොප්ලර් ගස් දෙක
 එකිනෙකාව වැළඳගනිමින් සිපගනිමින්
 ඔවුන්
නිබදවම මුමුණන්නේ ඔබෙත් මාගේත් ශෝකී ගීය නොවේද?
සීතලම සීතල උදෑසන
පන්තියට ගොම රිටි ගෙනා පුංචි කෙල්ල අල්තීනායි
දැන් වැඩුණු ගැහැණියකි
නමුදු
නොහැක අයිලයෙන් පියමනින්නට
ඔබේ අතැඟිල්ල අතැර
වැඩුණු ගැහැණියක වුවද
තවමත් මා
සැපේදී සිනාවෙන දුකේදී වැළපෙන
කර්ගීස් ගැහැණියයි
එබැවින්
ඔබ මාගේ
මුල් ගුරුවරයාමය

                                               ඉෂාරා අනුරාධි ගුණතිලක


Saturday, June 3, 2017

ජුකී මැෂිමට දියවෙන ජීවිත

                     











                               

                                        ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි.එහිදී මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්ත අතර ඇඟලුම් කර්මාන්ත සේවය විශේෂිතයි.52% ක් පමණ කාන්තාවන් ජීවත් වන අතර ඒ අතරිනුත් ඔවුන් බොහෝ දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කිරීමට දිනපතාම පැමිණෙයි.මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රමුඛ රැකියාවක් වන ඇඟලුම් කර්මාන්ත සේවාවට බොහෝ කාන්තාවන් එක්ව සිටියද බොහෝ විට සමාජයක් ලෙස ඔවුන් පිළිබඳව කතා කරනු ලබනුයේ ඉතා අවම වශයෙනි.
   
               ඉකුත් 08 වනදා අප සැමරීමට යෙදුණේ ජගත් කාන්තා දිනයයි.එම දිනයේදී බොහෝ මාධ්‍යයන් කාන්තාවන් ප්‍රමුඛ කරගත් විලාසිතා,සූපවේද ක්‍රම,රූපලාවන්‍ය වැනි වෙළඳ ව්‍යාපාරිකයන් පොහොසත් කරවන වැඩසටහන් දියත් කරමින් කාන්තාවන් රවටන්නට වූවේ තරඟයට මෙනි.එදින බොහෝ කාන්තාවන්ද මාධ්‍යන්ගේ යටි අරමුණ නොදැන රූපවාහිනී තිරය ඉදිරියට වී දෑස් දල්වා බලා සිටියද රටේ තවත් කොනක සිටින එවැනිම කාන්තාවෝ පිරිසක් ජුකී මැෂිමක් ඉදිරිපිට හිඳ තම ශ්‍රමය වගුරවති.
                         සමාජයක් ලෙස ගත් කළ අද වන විට කලාප යුවතියන්ට ඇති පිළිඟැනුම කෙබඳුදැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත.ඒ නමුත් දිනකට වෙළඳ කලාපය ප්‍රධාන කොටගත් එවැනි ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයක සේවාව සඳහා තරුණියන් බොහෝ ප්‍රමාණයක් ඇඳී එයි.එහිදී ඔවුන් රැකියාව කරමින් ජීවත් වීමට සිදුවන කුලී කාමරයේ ඇත්තේද අවම පහසුකම්ය.එවැනි ස්ථාන වල සෞඛ්‍ය තත්ත්වයේ ඇත්තේද අවම පහසුකම්ය.ඒ තැන්වල සෞඛ්‍ය තත්ත්වය,සනීපාරක්ෂාව,ඉතාමත් දුර්වල මට්ටමක පවතියි.ඒ නමුත් එය ඔවුන්ගේ අසරණකම නොවේද?ජුකී මැෂිමක් ඉදිරිපිට දෙකකුල් වේදනා විඳිමින් සිටගෙන සිටීමට යුවතියකට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.එහෙත් ඔවුන් මෙය කළ යුතුව ඇත.
                 බොහෝ විට තරුණියන් වෙළඳ කලාපයේ රැකියාවට පැමිණෙනුයේ තම කුඩා නංගිලා මල්ලිලාට උගැන්වීමටයි.සරසවියේ ඉගෙන ගන්නා තම සහෝදරයාට ඉගැන්වීමටයි.තම අසරණ මවට පියාට සරණක් වීමටයි.ලෙඩින් ඔත්පල වී සිටින මව රැකබලා ගැනුමටයි.බොහෝ කලාප යුවතියන්ගේ පවුල් යථාර්ථය එවැනිය.එහෙත් කොළඹ අහස යට මනුෂ්‍යත්වය සින්නක්කරට දී රුපියල් සත පසුපස හඹා යන බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ ජීවන යථාර්ථය නොවැටහේ.
               වර්තමානයේ ජීවත් වන තරුණයෙකුගෙන් නිකමට හෝ අසා බැලුවහොත් ඔහු කෙදිනක හෝ විවාහ වන්නේ කුමන ආකාරයේ තරුණියක් සමඟදැයි කියා ඔහු බොහෝ විට පවසන්නේ හොඳින් අඳින පළඳින පොෂ් කෙල්ලක් සමඟින් කියාය.ඔවුන් ගාමන්ට් කෙල්ලක් විවාහ කර ගැනීමට බොහෝ විට නොසිතනු ඇත.මෙයට වසර කිහිපයකට ඉහතදී පැවසූවේ කොල්ලා ආමි කෙල්ල ගාමන්ට් නියමෙට ගැළපෙන ජෝඩුව ලෙසය.වෙළඳ කලාපයේ රැකියා කරන තරුණියකට සමාජයේ ඇති පිළිඟැනුම අද තෙක්ම වෙනස් වී නොමැත.
                  සමාජයේ බොහෝ උගත් බුද්ධිමතුන් සිතනුයේ හරිහැටි උගත්කමක් නොමැති මෝඩ පිරිසක් එහි සේවයට යන බවයි.එහෙත් එවැනි උන් බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රාශියක් ඇත.කලාපයේ රැකියාව කරන තරුණියන් අතර අප වැනි සරසවිවල ඉගෙනුම ලැබූවන්ද සිටියි.උපාධිය ලබාගෙන රැකියාවක් ලැබෙන තෙක් තවත් වසර ගණනක් නිවසට බරක් විය නොහැකි තරුණියන් අවසන තීරණය කරන්නේ කුමක්ද?වෙලඳ කලාපයේ රැකියාවට යාම නොවේද?
                වෙළඳ කලාපයේ තරුණියන් බොහෝ විට අතිකාල වැඩද කරනු ලබයි.එවැනි දිනවල ඇතැම් විට ඔවුනට නවාතැනට ඒමට ලැබෙන්නේ රාත්‍රී 10 පමණ වන විටයි.මෙවැනි තත්ත්වයක් යටතේ වුවද ඔවුන්ගේ සේවාව ලබාගන්නා කිසිදු ආයතනයක් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකියනු නොලබයි. දිවා රාත්‍රිය නොලබමින් ජුකී මැෂිම තම ජීවිතයම කර ගනිද්දී බොහෝ විට ඔවුන්ගේ සේවාව ලබාගන්නා ආයතනය ශ්‍රමයට සරිලන වැටුපක් හෝ නොගෙවයි.
                  කුඩා කල වර්ෂාවක් පවතින විට අප බොහෝ දෙනෙකු කඩදාසි බෝට්ටු සාදා තරඟයට මෙන් ගලන ජල පහරට බෝට්ටු දමන්නේ ඒවා දියේ ගිලෙන බව දැනගෙනය.නමුදු අප ඒ සතුටට ආදරය කරන්නෙමු.එවැනි සුන්දර අතීතයක් ඔබ අප ඇතුළු බොහෝ දෙනෙකුට අයිතිව තිබුණි.කලාප යුවතියන්ටද තමන්ගේ ජීවිතයට මහා ලොකු බලාපොරොත්තු නොවුණත් ඔවුන්ටද තමන්ටම කියා පුංචි හීන ලෝකයක් ඇත.ඔවුන් ජකී මැෂිම ඉදිරිපිට හිඳ කරනුයේ එම සිහින ඇහිදීම නොවේද?එහෙත් අප ජීවත් වන සමාජයේ මිනිසුන් බොහෝ දෙනා මනිනු ලබන්නේ බාහිරිනි.පුද්ගලයා උසස් හෝ පහත් වන්නේ ඔහු කරනා රැකියාව අනුවද?රටක් සංවර්ධනය කිරීමට සුවිශාල මෙහෙයක් කරනා කලාප යුවතියන් පිළිබඳව ඔබ තවමත් සිතිය යුත්තේ එසේමද?





Friday, June 2, 2017

සරසවි හීන සහ අරගල

                     









                                                        ඉපදුණ දවසෙ ඉඳලා අපි හැමෝම එකා පස්සෙ එකා දුවලා දුවලා අන්තිමට උසස් පෙළින් පස්සෙ කැම්පස් යන එක ගැන මහා හීන ගොඩකුත් තුරුළු කරගෙන අපි වගේම තරඟෙට දුවපු තවත් උන් ගොඩක් ඒ තරඟන් අතරමඟ හැලෙද්දී අපි කැම්පස් එනවා.හැබැයි කැම්පස් ඇවිත් මාස තුනක් යන්නත් කලින්ම උසස් පෙළ කරන කාලෙ අපේ සර්ලා කැම්පස් එක ගැන කියපු කතා ඔක්කොම බොරු කියලා අපිට තේරෙනවා.ඒත් එතකොට අපි කැම්පස් ජීවිතේට හුරු වෙලා ඉවරයි.එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් අපි හැමෝම ඒ ජීවිතේට ගානට සෙට් වෙනවා.ඒ ජීවිතේ ඇතුළෙ උපරිම පිස්සු නටන්නත් ඒ වගේම ටවුන් එකත් ටවුන් එකක් ගාණෙ බුක් මාක් ස්ටිකර් වගේ දේවල් විකුණන්නත් ප්ලේන්ටියක්වත් නැතුව කැට හොල්ලන්ඩත් අපි ඒ වෙද්දී පුරුදු වෙලා ඉවරයි.ඒ වගේ පුංචි පුංචි දේවල් මහ ගොඩාරියක්  කරලා අතට ගාණක් හොයා ගෙන තමයි කැම්පස් අපි හැමෝම කලා උළෙලවල් නාට්‍ය වගේ දේවල් කරන්නෙ.
                          කැම්පස් එකේ තවත් එක පැත්තක් තියෙනවා.ඒ තමයි අසාධාරණේට විරුද්ධව කතා කරන එක.උද්ඝෝෂණ කරන එක.මේ වගේ දේවල් ටිකක් විතරක් හින්දා කැම්පස් අපිට මේ සමාජයේ ඉන්න මිනිස්සු එක එක ස්ටිකර් ගහනවා.සමහරු කියනවා දේශපාලකයන්ට කඬේ යනවා කියලා.තවත් අය මුන්ට කොච්චර දුන්නත් මදි කියනවා.ඒ වගේම තවත් කට්ටියක් කියන්නේ මුන්ට කැම්පස් එකට වෙලා පොතක් පතක් බලාගෙන ඉන්න බෑනෙ කියලා.මොන විදිහට මිනිස්සු අපිව කිරලා මැනලා බැලුවත් ඇත්තටම අපි අරගල කරන්නෙ අපිට වෙන අසාධාරණකම් හින්දා.ඒ කියන්නේ කැම්පස්වල බඳවා ගැනීම් වැඩි කරන්න,පාසල් වල මුදල් අය කිරීම් නවත්තන්න වගේ දේවල් වලට.කැම්පස් එකේ කොල්ලො කෙල්ලො මාර කට්ටක් කනවා ජීවත් වෙන්න.ඒකෙදී සමහර දවස් වල කෑම වේල අපි පුංචි ප්ලේන්ටියකින් ෂේප් කර ගන්න පුරුදු වෙනවා.ඒ වගේම රබර් සෙරප්පු  කෑලි දෙක හිල් වෙකම්ම දාන්නත් අපිට පුළුවන්.කැම්පස් එකේ ගොඩක් උන්ට අතට ගාණක් හොයා ගන්න පාර්ට් ටයිම් රස්සාවල් කරන්න වෙලා තියෙනවා.මේක තමයි යථාර්ථය.ඒකට හේතුව කැම්පස් ගොඩක් උන්ට ඉගෙන ගන්න ගමන් තමන්ගේ පවුලත් ගොඩදාන්න වෙලා තියෙන එක.ඒ වගේ දේවල් සමාජයේ ගොඩක් මිනිස්සු දකින්නේ නෑ.ඒත් ඒක කැම්පස් අපි හැමෝගෙම ජීවිතවල ඇතුල් පැත්ත.ඒ වුණාට සමාජය අපිව මනින්නෙ අපි කකුල් කැඩෙනකම් පා ගමන් යන උගුර රිදෙනකම් කෑ ගහන උද්ඝෝෂණ වලින් විතරයි.
                           අදටත් උපාධිධාරීන් හතලිස්දාහකටත් වඩා ඉන්නවා රස්සා නැතුව.මේ ප්‍රශ්නයට උද්ඝෝෂණයක් පහුගිය දවසක ක්‍රියාත්මක වුණා.පොලීසිය තමන්ට සුපුරුදු විදිහටම අවම බලය යොදලා කඳුළු ගෑස්,ජල ප්‍රහාර එල්ල කරලා ඒක විසුරුවා හැරියා.තමන්ගෙ දුව පුතා උපාධිධාරියෙක් වුණාම ගමේ ඉන්න අම්ම තාත්තා හිතන්නෙ තමන්ගෙ උගත් දරුවො එයාලව බලා ගනියි කියලා.ඒක හීනයක්ම විතරයි කියලා එයාලට හිතෙන්නෙ උපාධිධාරී පුතා දුව රස්සාවක් නැතුව ගෙදරට වෙලා තවමත් එයාලගෙන්ම යැපෙන තත්වෙට පත්වුණාමයි.කැම්පස් ඉන්න අපි හැමෝම ඉපදුණ දවසෙ ඉඳලා මාර කට්ටක් කන්නෙ.කැම්පස් එක ඇතුළෙ තියෙන්න වෙනමම ක්‍රමයක්.අපේ භාෂාවෙන් කියනවා නම් ඒක තමයි කැම්පස් එකේ තියෙන  සිස්ටම් එක.
කැම්පස් එකේ එහෙට මෙහෙට තල්ලු වෙලා තැලිලා පොඩිවෙලා අන්තිමට උපරිම කට්ටක් කාලා උපාධිය අතට ගත්තමත් රස්සාවක් නැතුව ඉන්න වෙනව නම් ඒ තරමේ කාලකණ්ණි කමක් අපේ ජීවිතේට තවත් නම් නෑ කියලා තමයි හිතෙන්නේ.ඒ වගේම තත්වයක් ඇතුළේ ඉඳගෙන තමයි රැකියා විරහිත උපාධිධාරීන් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න උද්ඝෝෂණ සංවිධානය කරන්නෙ. සමාජයේ මිනිස්සු ඒ දේවල් දිහා එක එක කෝණයන්ගෙන් බැලුවත් අවසානයේදී තමන්ගෙ ඉල්ලීම් දිනා ගන්න තියෙන අන්තිම ක්‍රමය තමයි උද්ඝෝෂණ කියලා කියන්නෙ.මොකද ඉතිහාසයේ කවදාවත් පාලක පන්තිය මිනිස්සුන්ගෙ ඉල්ලීම් තමන්ගෙ කැමැත්තෙන් පිළිඟැන්වූවෙ නැති හින්දා.වෙනත් රටවල තරුණයන් කියන්නෙ ඒ රටේ සම්පතක්.හැබැයි අපේ රටේදි ඔවුන්ට සලකන්නෙ අවම බලය යොදාගෙන.මිනිස්සු හැමෝම රුපියල් සත අස්සෙ දුවන මේ සමාජය ඇතුළේ උපාධිධාරියාට සුදුසු තැනක් ලබාදෙන්න මේ රටේ පාලකයන් වගබලා ගන්න ඕන කාලය ඇවිත්.ඔබත් හිතන්න මොහොතක්.    


ජීවිතය ඇතුළේ කෝ සැබෑ ආදරය


             











                            
                                                       
                                    “ආදරය” මේ වචනෙ දැක්ක ගමන්ම හිතට මහ අමුතු හැඟීමක් දැනෙනවා.හදවතේ එක පැත්තක් සීතල වෙලා යනවා වගේ හැඟීමක්.ආදරය කියන අකුරු හතරට අපේ ජීවිතයට මේ තරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලත් වෙලාවකට හිතෙනවා.ලෝකෙ පුරාම බිහිවුණු දක්ෂ මිනිස්සු කලාකරුවන්,දාර්ශනිකයන් ආදරය තේමා කරගෙන අමුතු නිර්මාණ බිහිකරලා තියෙනවා.හැබැයි මේ කිසිම කෙනෙක්ට ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම කියන්න බැරි වුණා. ඒ් ආදරය කියන වචනයෙ හැංගිලා තියෙන  සංකීර්ණ බව හින්දමයි.  
                  ජීවිතේ කවදා කොහොම කොයි වෙලාවකදී අපට ගැළපෙන හිතක් ආදරයක් හම්බවෙයිද කියලා කියන්න බැහැ.කතාවක් තියෙනවා තනිකඩව ජීවත්වෙන මිනිස්සු ළඟ තමයි හරිම ආදරය තියෙන්නෙ කියලා.ඒ මොකද එයාලගෙ ආදරය හරි වෙනස්.හරි අමුතුයි.ඉතින් එයාලට ගැළපෙන ආදරයක් හමුවුණේ නැති වුණහම එයාලා මුළු ජීවිත කාලෙම තනියෙම ඉන්නවා.හැබැයි ඉස්සර පෙම්වතුන් වගේ නෙමෙයි දැන් කාලෙ ඉන්න තාක්ෂණික පෙම්වතුන්.එයාලා හිතන පතන විදිහ හරිම අමුතුයි.ඒ කාලෙ පෙරුම්පුරාගෙන ප්‍රාර්ථනා කරපු ආදරය දැන් වෙනකොට මිස් කෝල් එකකින් පටන් අරගෙන හෝටල් කාමරයකින් ඉවර වෙන තත්වෙට පත්වෙලා තියෙනවා.එයාලගෙ ආදරය වැරදිලා ආපු මිස් කෝල් එකකින් එහෙමත් නැත්තම් මැසේජ් එකකින් පටන් ගන්නවා.ඒකෙ අලුත්ම ප්‍රවණතාවය විදිහට ෆේස් බුක් හඳුනගන්න පුළුවන්.ඒකෙන් තේරෙන්නෙ මේ වෙනකොට ආදරයත් ඩිජිටල්කරණයට ලක් වෙලා ඉවරයි කියන එක.මිනිස්සුන්ගේ හැඟීම් එක්ක කරන ආදරය වගේ ගණුදෙනුවකදී ඒක හරිම අවානාවන්ත දෙයක්.
                    අපේ පරම්පරාවෙ ඉන්න ගොඩක් කොල්ලො කෙල්ලො ආදරය කියලා කියන්නෙ ිැං කියලා වරදවා වටහා ගන්නවා.ඒකට සමාජමය කරුණුත් බලපානවා.කොහොම වුණත් ආදරයේ කෙළවරක තියෙන ිැං වගේ දෙයක් ආදරය පටන් ගන්න කොටම අත්හදා බලන්න යන තරුණ පරම්පරාවක් මේ වෙකොට හොයාගන්න පුළුවන්.ඒ වගේ ආදර කතන්දරවල ආදීනව අපට දවස තිස්සේම ජනමාධ්‍යයන්ගෙන් රසකර කර උණු කැවුම් තරඟෙට පෙන්නනවා.කතාවට කියන්නේ මිනිස්සු ආදරයට ආදරය කරනවා කියලා.ඒත් ඒ කතාව ඇත්තද කියලා මේ වෙකොට එකපාරක් නෙමෙයි දෙතුන් පාරක්ම හිතන්න වෙනවා.අද කාලෙ ආදරය හින්දම තරුණ තරුණියො තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන හැටිත් ආදරය අන්තිමට වෛරයක් බවට හැරවිලා තියෙන විදිහත් අපිට මාධ්‍ය තරඟට වගේ වාර්තා කරන විදිහ දැතගන්න පුළුවන්.
                   තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක් හම්බවුණානම් ඊයෙ මිස් කෝල් එකකින් පටන් අරගෙන අද වෙනකොට හෝටල් කාමරයකට තමන්ගෙ කෙල්ලව අරගෙන යන්නෙ නෑ.කොච්චර අපි මේ දේවල් ගැන කතා කරත් ගොඩක් ගෑණු ළමයි මේ වගේ දේවල් ගැන හිතන්නෙ නැති එක හරිම අවාසනාවක්.හැඟීම්වලට වහල් වෙලා ගන්න ගොඩක් තීරණ අන්තිමට ලොකු පසුතැවීමක් ඉතුරු කරනවා.එහෙම ගෑණු ළමයි තමන්ව ඔච්චර කාලයක් මලක් වගේ හදපු අම්මා තාත්තා ගැනවත් හිතන්නේ නැතුව තමන්ගෙ පෙම්වතා එක්ක හෝටල් කාමරයකට යන්නෙ තමන් කරන්න යන දේ ගැන දෙපාරක් හිතන්නෙ නැතුව.ඔවුන් තමන්ගෙ ආදරය කියලා අඳුරගෙන තියෙන්නෙ මොකද්ද කියලා ඒ වගේ තැනකදී අපට ප්‍රශ්නයක් එනවා.
                   සාජහාන්-මුම්ටාස්,සාලිය-අශෝකමාලා,ලයිලා-මජ්නු වගේ ගොඩක් ආදර කතා අපි ඉතිහාසයේදී කියවලා තියෙනවා.අහලත් තියෙනවා.හැබැයි මේ එක ආදර කතාවක්වත් ිැං කියන දේ ගැන මුල පටන්ගන්න තැනදිම කතා කරලා නෑ.ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි කියලා මට මතක සිංදුවක තිබුණා.ඇත්තටම ඒක එහෙමද?ප්‍රේමයට රාගයක් නැද්ද?රාගය නැතුව ප්‍රේමය කියන දේ විඳින්න පුළුවන්.ප්‍රේමයේ අවසාන ඵලය වෙන්නෙ රාගය.හැබැයි දැන් කාලෙ වැරැද්ද වෙලා තියෙන්නෙ ගොඩක් පෙම්වතුන් ප්‍රේමය පටන් ගත්ත දවසෙ ඉඳලම ඒක රාගය කියලා අඳුරගෙන තියෙන එක.පොදු ප්‍රවාහන සේවාවල අපට ඒ දේවල් හොඳට බලාගන්න පුළුවන්.දවසින් දවස ගෙවිලා යන ජීවිතේ ඇතුළේ සැබෑ ආදරය මොකද්ද කියලා අඳුනගන්න කාලය ඇවිත්.


සයිටම් අඳාල නැද්ද?


                   










                                     
                             ඕනෑම රටක් දියුණු වෙන්න නම් මූලික සාධක කීපයක් තියෙන්න ඕනෑ.ඒ අතරින් උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් තිබීම ප්‍රධානයි.පොඩි ළමයෙක්ගෙන් අපි නිකමට වගේ ඇහුවොත් ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා ගොඩක් ළමයි කියන්නෙ ඩොක්ට කෙනෙක් වෙන්න කියලා.ඒ තරම්ම අපි පොඩි කාලෙ ඉඳලා බෙහෙත් ගන්න ගියාම වෙද නළාව කරේ දාගෙන සුදු පාටට ඇඳලා ඉන්න ඩොක්ටට ආස කරනවා.අපේ හීන පොඩි කාලෙ එහෙම වුණාට වෛද්‍යවරයෙක් වෙන එක ලේසි පහසු කාර්යක් නෙවෙයි.ඒ තත්වෙට ළඟා වෙකොට අපි ජීවිතේ ආසා කරන ගොඩක් දේවල් අත් හරින්න වෙනවා.
                            ඒ කොහොම වුණත් මේ පවතින ධනවාදී ආර්ථිකය ඇතුළෙ හැම දේම සල්ලි වලට විකිණෙනවා.ඒක තමයි ඇත්ත කතාව.ගොඩක් දෙනෙක් නොදන්නෙත් මේ ඇත්තම වෙන එක හරිම ඛේදජනකයි.මේ ධනවාදී ආර්ථිකය ඇතුළෙ දැන් පවතින නිදහස් සෞඛ්‍යටත් මිලක් නියම වෙලා ඉවරයි.ඇත්තටම මාලබේ සයිටම් උපාධි ආයතනයට ගොඩක් පිරිසක් මේ විදිහට අකමැති වෙන්නෙ ඇයි කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.ඒකට ප්‍රබල හේතුවක් තියෙන්න ඕනෑ.මේ ප්‍රශ්නෙදී ගොඩක් වෙලාවට සයිටම් වෛද්‍ය උපාධියට විරුද්ධව අරගල කරන්න පෙරමුණට එන්නෙ සරසවි ශිෂ්‍යයන්.හැබැයි ඒ ශිෂ්‍යයන් මේ ක්‍රමයට විරු්ධව අරගල කරනකොට පාර බොලොක් වෙනවා කියලා මහ හයියෙන් කෑ ගහන අපේ මිනිස්සු ඉන්දියාවෙ මෙලෝ වැඩකට නැති නිළියක් ගෙන්නනකොට පාර මැද්දෙ අත වන වනා සෙනඟ අස්සෙ පීර පීර ඒ නිළියව බලන්න පොරකනවා.මේකයි යථාර්ථය.අපේ ප්‍රශ්න ගැන කතා කරනකොට සංවේදී වෙන්නෙ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා.ඒ වුණත් මේ ප්‍රශ්නෙ බලපාන්නෙ සරසවි ශිෂ්‍යන්ට විතරක් නෙවෙයි.සයිටම් ප්‍රශ්නෙ මේ සමාජයේ විසිරිලා පැතිරිලා ඉන්න අපි හැමෝටම එක වගේම බලපානවා.ඇත්තටම සයිටම් එක කියන්නෙ විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ කරලා අඩු සාමාර්ථ ලබා ගත්තත් අතේ යහමින් සල්ලි තියේනම් වෛද්‍ය උපාධිය ලබාදෙන උපාධි කඩයක්.
                මේ මාලබේ සයිටම් උපාධි ආයතනයෙන් පිටවෙන පළමුවැනි ශිෂ්‍යයෝ කණ්ඩායම මේ වෙනකොටත් පිටවෙලා ඉවරයි.හැබැයි මේ අයට වෛද්‍යවරුන් විදිහට සේවය කරන්න කිසිම අවස්ථාවක් නෑ.ඒ මොකද කිව්වොත් මේක පිටිපස්සෙ ලොකු හේතුවක් තියෙනවා.මේ විදිහට කිසිම ගුණාත්මක බවක් නැතුව වෛද්‍යවරුන් විදිහට සේවය කරන්න ගියාම ඒකට වග කියන්න වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ වෛද්‍යවරුන්ගෙන් සේවය ලබා ගන්න දුප්පත් අපි වගේ සාමාන්‍ය ජනතාවට.ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නෙ පිටරටින් සේවය ලබා නොගන්න දුප්පත් අපිටම නේද?හැබැයි අපේ රටේ ඉන්න ගොඩක් මැති ඇමතිවරු මේ සයිටම් ආයතනයට කැමැත්තක් දක්වනවා කියන එක මේ වෙනකොට පරම සත්‍යක් බවට පත්වෙලා තියෙනවා.ඒ මොකද කිව්වොත් මේ ආයතනයට තමන්ගෙ පිරිස් සම්බන්ධයි.ඒ ගෛ්ම තමයි පාලන අධිකාරිය කිසිම වෙලාවක පොඩි ලෙඩකටවත් අපේ රටේ සෞඛ්‍ය සේවය ලබා නොගෙන පිට රටවල සෞඛ්‍ය සේවය ලබා ගන්න හින්දා.ඒ හින්දම අපේ රටේ බුද්ධිමත් පාලකයන්ට මේ මාලබේ සයිටම් ආයතනය අඳාල නෑ.
                    පාලකයන්ට එහෙම වුණාට අපිට මේ සයිටම් ආයතනය අඳාල නෑ වගේ ඉන්න පුළුවන්ද?බෑ.මොකද මේ ආයතනය මඟින් කරන්නෙ අපේ ජීවිත අපිටත් හොරෙන් සිල්ලරට වෙන්දේසි කරන එක.අපිට මේ ආයතනයේ ඉන්න කිසිම ශිෂ්‍යයෙක් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ.තරහකුත් නෑ.ඇත්තටම අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ වෛද්‍ය උපාධිය මේ විදිහට කිසිම ගුණාත්මක බවක් නැතුව රුපියල් සත වලට කේවල් කරන පාලන ක්‍රමය එක්ක.මොන ප්‍රශ්න තිබුණත් අපේ රටේ සෞඛ්‍ය සේවයට අනිත් රටවල් අතර හොඳ පිළිඟැනීමක් තිබුණා.හැබැයි ඉස්සරහටත් ඒ තත්වෙ එහෙමම තියෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ.ඒ වගේම තමයි කිසිම පිළිඟත්ත ආයතනයක් මේ මාලබේ සයිටම් උපාධි ආයතනය බිහි කරන්නේ උසස් වෛද්‍යවරු කියලා පිළිඟන්නේ නෑ.ඒ හින්දා මේ මාලබේ සයිටම් ප්‍රශ්නෙ ඔයාලා අපි හැමෝටම අඳාල නෑ වගේ හිටපු කාලෙ අවසන් කරන්න කාලය ඇවිත්.

Monday, May 29, 2017

නූතන ගීතයහි වල්මත් වීම

                  
  













මේ ලෝකෙ තියෙන ලස්සනම වගේම සුන්දරතම දේ මොකද්ද කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි.හැබැයි මේ ලෝකෙ තියෙන ලස්සනම දේ තමයි සංගීතය කියලා කියන්නෙ.සංගීතය කියන්නෙ ඇත්තටම විශ්ව භාෂාවක්.ලෝකෙ පුරාම විවිධ ජාති,ආගම්,කුල,ගෝත්‍රවලින් බෙදිලා වෙන්වෙලා ඉන්න මිනිස්සු එකතු කරන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් සංගීතයට තියෙනවා.මිනිස්සුන්ව අනන්තයටම ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙන්නෙ සංගීතයට විතරයි.
                   සංගීතය ගැන කියනවා නම් අපිට පත්තර පිටු ගණන් ඒ විදිහට ලියලා පුරවන්න පුළුවන්.හැබැයි අද අපේ රටේ සංගීතය තියෙන්නෙ මොන වගේ තැනකද?මූලිකවම අද අපේ රටේ සංගීතය කියන එක රූප රචනාවකට සීමා වෙලා තියෙනවා.ඒකට වැඩිම දායකත්වයක් දෙන්නෙ පෞද්ගලික බස් අයිතිකරුවන්.අද ඕනම කෙනෙක්ට අතේ යහමින් සල්ලි තියේනම් එක රැයකින් ගායකයෙක්
වෙන්න පුළුවන් තත්වයක් ඇතිවෙලා.ඒකට ඕන වෙන්නෙ හරිම පොඩි දේවල් ටිකක්.තමන්ගෙ අඩ නිරුවත වෙන්දේසි කරන්න පුළුවන් රඟපෑම කියන දේ ඇඟේ ගෑවිලාවත් නැති පොත්ත සුදු කෙල්ලෙකුත් ඒකටම ගැළපෙන කොල්ලෙකුත් හොයාගන්න එක අද ඒ තරම් අමාරු වෙන්නෙ නෑ.ඒ වගේම තමයි සංගීතයේ ස්වර හත වත් හරියට අඳුරන්නෙ නැති ගායකයෝ කියලා තමන්ම කියාගන්න පිරිසක් අද අපේ රටේ බිහිවෙලා.දවසෙ ඕනෑම වෙලාවක  නාලිකාවක් දැම්මොත් අපට ඇහෙන්නෙ පේන්නෙ වෙන මනුස්සයෙක් එක්ක ගියපු තමන්ගෙ පෙම්වතියට සුබ පතපතා නාහෙන් අඬන අඳෝනා තියන ගායකයො.ඉතින් ඒවා බලන මිනිස්සුන්ට අනේ අපොයි කියවෙන්නෙ ඉබේටමයි.
                 සිල් බිඳගත්ත ගීතය මේ වෙනකොට ආශාවරීගෙ ඉඳලා අති සාර්ථකව ගොඩක් කඩඉම් පහුකරගෙන ඇවිත් තියෙනවා.මෙහෙම කතා කරනකොට සමහර අය කියනවා අපි සංස්කෘතිය කියන දේ කරපින්නාගෙන දූපත් මානසිකත්වයෙන් තවමත් ජීවත් වෙනවා කියලා.ඕනම දියුණු රටක සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා.ඇත්තම කතාව තමයි සංස්කෘතියක් නැතුව අපට පැවැත්මක් නෑ කියන එක.ඒ සංස්කෘතික රාමුව ඇතුළෙ අද සමාජයේ සිද්ධවෙන දේවල් සිංදුවකින් පෙන්නලා ප්‍රේක්ෂකයාට ඒ දේ ලබලා දෙනකොට අඳාල නිර්මාණය කලාත්මකව කරන ක්‍රමයක් තියෙනවා.හැබැයි අද වෙන්නෙ ඒකද?අමු අමුවේ සිද්ධ වෙන දේවල් එහෙම්පිටිම්ම ගෙඩිය පිටින් පෙන්නන එක සාර්ථකද?නෑ.අපේ රටේ බාල බොළඳ ගායකයො කියලා කියාගන්න අය හිතන්නේ යූ ටියුබ් එකේ තමන්ගෙ සිංදුව බලන පිරිස වැඩි වුණා කියලා තමන් සාර්ථකයි කියලා.අද තියෙන ගොඩක් රූප රචනා ගායකයාගේ සිංදුවට ගැළපෙන්නේ නෑ.එක අතකින් කිසිම තේරුමක් නැති සිංදු වලට රූප රචනා කරන එකත් හැම අමාරු වැඩක්.
                  එකම විදිහේ එකම රැල්ලක් ඇතුළේ අද තරුණ ගායකයො හිරවෙලා ඉන්නවා.ඒකෙන් මිදෙන්න කියලා තවත් සමහර ගායකයො පිරිසක් තමන්ගෙ සිංදුව ඇතුළට කොහේ හරි ඉන්න නිරූපිකාවකගෙ හරි තරුණියකගෙ හරි නිරුවත රිංගවනවා.එහෙම කරලා අපි හරි වෙනස් කියලා පොර ටෝක් දෙනවා.හැබැයි එහෙම සිංදු ගෙදර අම්මලා තාත්තලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්ද?ඒ වුණත් ලංකාවේ ගොඩක් නාලිකා වලින් කරන්නෙ තවත් මේ ගායකයන්ව උස්සලා පුම්බලා අරගෙන තමන්ගේ චැනල් එකේ රේටින්ස් වැඩිකර ගන්න එක.අහම්බෙන් හරි එක්කෙනෙක් ගුණාත්මක බවක් තියෙන සිංදුවක් අරගෙන මාධ්‍යට ගියොත් ඒ මාධ්‍යයෙන් ඒ පුද්ගලයව ප්‍රතික්ෂේප වෙන්නෙ හරිම ඉක්මනට.ඒක තමයි අද යථාර්ථය.වර්තමාන ගායකයො නාහෙන් අඬඅඬා කියන සිංදුවල පද ගොඩක් වෙලාවට අඳාල ගායකයාටවත් මතක නෑ.ඒකෙන්ම ඒ සිංදුවෙ ගුණාත්මක බව ගැන මිනිස්සුන්ට තේරුන් ගන්න පුළුවන්.
                 ඉස්සර කාලෙ සිංදුවක් අපිට එක පාරක් ඇහුවත් අවුරුදු ගාණක් යනකම්ම මතක තියෙනවා.හැබැයි අද නම් එහෙම සිංදුවක් බේතකටවත් හොයාගන්න නෑ.ඒ වගේම අද ඉන්න තරුණ පරම්පරාවේ රසවින්දනය කියන දේ කොටුකරලා.හැබැයි ඉස්සර එහෙම නෑ.සිංදුවක් ඇහුවහම චිත්ත රූප මැවෙනවා.දැන් සිංදුව අහන ගමන් අපට තියෙන්නේ රූප රචනාව දිහා ඇස් ලොකුකරගෙන බලාගෙන ඉන්න විතරයි.සැප වාහනයක් ගන්න,ලක්සිරි ගෙයක් හදන්න වගේ ටාගට් කවර් කරන අද ගායකයන්ට ගුණාත්මක සිංදුවක් කරන්න ඕන කියන ටාගට් එක හරිම ඉක්මනට අමතක වෙලා ගිහින්.මේ විදිහට ඉවක් බවක් නැතුව හැදෙන ගීත කලාව දැන් වෙනස් වෙන්න ඕන කාලෙ ඇවිත්.එහෙම නැති වඅණොත් අපේ අනාගත පරම්පරාව කිසිම රසවින්ඳනයක් නැති යාන්ත්‍රික මිනිස්සු කොටසක් බනට පත්වෙන එක කාටවත් නවත්වන්න බැරි වේවි.    

Sunday, May 28, 2017

ස්මාට් අධ්‍යාපනය

                  










                     අධ්‍යාපනය කියලා කියන්නේ ජාති, ආගම්,කුල,මල කිසිම භේදයක් නැතිව අපි හැමෝටම ලැබිය යුතු වරප්‍රසාදයක්.එහෙමත් නැත්නම් අයිතිවාසිකමක්.එදා කන්නන්ගර මහත්තයා හරිම අමාරුවෙන් ලබලා දුන්න නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න දුප්පත් පොහොසත් භේදයක් නැතිව  අපි හැමෝටම අධ්‍යාපනයේ ආනිශංස විඳගන්න ලැබිලා තියෙනවා.හැබැයි අද වෙනකොට තර්ජනයට ලක්වුණ නිදහස් අධ්‍යාපනය පණ ඇඳ ඇදා හරි පවතින්නෙ ශිෂ්‍ය අරගලවල පිහිටෙන්.එහෙම නැති වුණානම් ගොවියගෙ පුතා ගොවියෙක්ම වෙන්න කම්කරුවගෙ පුතා කම්කරුවෙක්ම වෙන්නත් ඉඩ තිබුණා.
                  හැම අවුරුද්දකම ලංකාවෙ ලක්ෂ 3ක් විතර ශිෂ්‍යයෝ පිරිසක් උසස් පෙළ ලියනවා.හැබැයි අවාසනාවකට වගේ ඒකෙන් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නෙ 25000 වගේ හරිම සුළු පිරිසකට විතරයි.ඒක ශිෂ්‍යයන්ගෙ වැරැද්දක් නෙමෙයි.ඒ 25000 අත්හැරුණාම ඉතුරු ලක්ෂ ගාණට මොකද වෙන්නෙ.ඒ තරුණයන්ගෙ උත්තර නැති ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්නෙ කවුද?ආර්ථික ප්‍රශ්නත් එක්ක ආයෙමත් සැරයක් විභාගෙ ලියනවාද?දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඔහේ ගෙදරටම වෙලා ඉන්නවද?කොහොම හරි කට්ටක් කාලා ත්‍රීවීල් එකක් අරගෙන රෝද 3ට තමන්ගෙ ජීවිතේ බාරදෙනවාද?ආමි එකට යනවද?එහෙමත් නැත්තන් ගාමන්ට් යනවාද?හන්දියක් ගානෙ බෝක්කුවක් ගානෙ වේලි වේලි චාටර් වෙනවද?මේ වගේ මහා ප්‍රශ්න ගොඩකට ඒ ඉතුරුවෙන තරුණ ජීවිත උත්තර හොයනවා. මේ තරුණ පිරිස ක්‍රමවත්ව රටේ සංවර්ධනයට දායක කරගෙන රට ගොඩගන්න විධිමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවුරුදු ගාණක් තිස්සේ බලයට පත්වුණ කිසිම පාලකයෙකුට තිබ්බෙ නෑ.දැන් කියලත් ඒකෙ ඒ හැටි වෙනසක් නෑ.
                     රටේ තරුණයන්ගෙ ශ්‍රමය ශක්තිය අපතේ නොයවා නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදලා ප්‍රයෝජනයට ගත්තා නම් අද වෙනකොට අපේ රට අනික් රටවල් පහුකරගෙන ගොඩක් දුර ඇවිත්.හැබැයි මේ අධ්‍යාපන ක්‍රමයෙන් කොහොම හරි වාසිය ගන්නෙ අපේ රටේ අඳබාල දේශපාලකයන්.ඒ ඡන්ද මගඩි වලින්.රස්සා දෙනවා,රටේ නොමිලේ වයිෆයි කලාප ඇති කරනවා වගේ මෝඩ සුරංගනා කතා කියලා තරුණයන්ට එක එක හීන පෙන්නලා ඔවුන් කරන්නෙ හැමදාමත් තරුණයන්ව රවට්ටන එක.මේ දීර්ඝ කාලීන රැවටීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටේ තරුණ කැරලි දකින්න පුළුවන් වුණේ.ඒකට වැරදිකාරයො වෙන්නෙ කුණු වුණු දේශපාලනය පෙරටු කරගත්ත මේ මුළු සමාජයමයි.ඒකෙන් අපට වටිනා කියන තරුණ ජීවිත දහස් ගාණක් අහිමි වුණා.
             
                    පාසල් සිසුන්ට ටැබ් දීලා ස්මාට් ක්ලාස් හැදුවා කියලා පාරම්බාන්න කලින් රටක් විදිහට අපිට අධ්‍යාපනයේ දියුණු කරගන්න ඕන තැන් එමට තියෙනවා.තවමත් ඉගෙන ගන්න අකුරක් ලියන්න හරිහමන් ශාලාවක් නැති පයේ දාගෙන යන්න සපත්තු දෙකක් නැති ළමයි ඕනෑතරම් ඉන්නවා.පාසල් අධ්‍යාපනය සීග්‍රගාමී ගමනක යෙදෙනකොට  අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවමත් තියෙන්නෙ හරිම මන්දගාමීව.මේ දෙක හරිම පරස්පරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පැහැදිගිවම අනාගත ලෝකයට ඔබින ලෙස වෙනස් විය යුතුමයි. අධ්‍යාපනය නමට ස්මාර්ට් කරලා ගැලරිය පිනවන්න ප්‍රතිපත්ති හදන පාලකයො රටේ අධ්‍යාපනය ගැන නිවැරදි අවබෝධයකින් කටයුතු කරනවානම් මීට වඩා හොඳ අධ්‍යාපනයක් රටේ නිසැකයින්ම හොඳ වේවි.          
    හද්දා පිටිසර ගමකින් අවුරුදු පහකට පස්සෙ කැම්පස් එන්න පාස්වුණු ශිෂ්‍යාවකට කැම්පස් එන්න බැරිවෙන්නෙ ඇයගේ වැරැද්දෙන් නෙමෙයි.තාක්ෂණික දෝෂයකින්.හැබැයි විශ්ව විද්‍යාල පරිපාලන කොමිසමට ගිය ඒ ශිෂ්‍යාවට ඒ උගත් බුද්ධිමත් මහත්තුරු කියන්නේ ඔයා ආපහු පාරක් උසස් පෙළ ලියලා පාස්වෙලා එන්න කියලයි.ඒ වචන ටික කියා ඇති උගත් බුද්ධිමත් මහත්වරුවන්ගේ ඔළුව ඇතුළේ තියෙන මොළයේ දිග පළල ගැන ප්‍රශ්නයක් තියෙනවා.ජපානයේ එක් ශිෂ්‍යාවක් වෙනුවෙන් පමණක් ඇයගේ ඉගනීම අවසන් වෙනකම්ම ඒ ගම්මානයේ දුම්රිය ධාවනය වූ බව ප්‍රකාශ කළා.ඒ ජපානයේ තත්වය.අපේ රටේ උගත් මහත්වරුන්ට ඒ තරමේ පිස්සුවක් නෑ.රට පුරා නොමිලේ වයිෆයි කලාප කෙසේ වුවත් නිවැරදිව සරසවි ප්‍රවේශය ලබා ගන්න ඇයට නොහැකි වූයේ කාගේ වරදින්ද?සීතල කාමරවල ඉඳගෙන මහපොළවේ රළු බවයි ඌෂ්ණ බවයි දැනෙන්නේ නැතිව ප්‍රතිපත්ති සම්පාදනය කරනන්ගේම වැරැද්දෙන්.
                     පාසල් සිසුන්ට ටැබ් දීලා ස්මාට් ක්ලාස් හැදුවා කියලා පාරම්බාන්න කලින් රටක් විදිහට අපිට අධ්‍යාපනයේ දියුණු කරගන්න ඕන තැන් එමට තියෙනවා.තවමත් ඉගෙන ගන්න අකුරක් ලියන්න හරිහමන් ශාලාවක් නැති පයේ දාගෙන යන්න සපත්තු දෙකක් නැති ළමයි ඕනෑතරම් ඉන්නවා.පාසල් අධ්‍යාපනය සීග්‍රගාමී ගමනක යෙදෙනකොට  අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවමත් තියෙන්නෙ හරිම මන්දගාමීව.මේ දෙක හරිම පරස්පරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පැහැදිගිවම අනාගත ලෝකයට ඔබින ලෙස වෙනස් විය යුතුමයි. අධ්‍යාපනය නමට ස්මාර්ට් කරලා ගැලරිය පිනවන්න ප්‍රතිපත්ති හදන පාලකයො රටේ අධ්‍යාපනය ගැන නිවැරදි අවබෝධයකින් කටයුතු කරනවානම් මීට වඩා හොඳ අධ්‍යාපනයක් රටේ නිසැකයින්ම හොඳ වේවි.          


     









Sunday, May 14, 2017

හීන ඇහිදින ජීවිත

                                                      

                            




                  “ජීවිතේ” ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකක්ද?සමහරු කියනවා ජීවිතේ කියන්නෙ ගලන ගඟක් වගේ  කියලා.තවත් අය කියනවා උත්තර ලියන්න අමාරු ප්‍රශ්න පත්තරයක් වගේ කියලා.මේ කොහොම කිව්වත් තත්පර,මිනිත්තු අස්සේ අපි උඹලා හැමෝම හොයන්නෙ ජීවිතේද?උදේ ඉඳලා හවස් වෙනකම්ම ආයෙත් රෑ ඉඳලා උදේ වෙනකම්ම එහෙට මෙහෙට පැද්දිලා ඇඹරිලා ඔහේ ගෙවිලා යන ජීවිතේ ඇතුළෙ අපි හොයන්නෙ මොනවද?දවසින් දවස තත්පරෙන් තත්පරේ අපි අපේ ජීවිතේට අළුතින් බලාපොරොත්තු ඒ වගේම හීන එකතු කර ගන්නේ කිසිම ලෝබකමක් නැතුව අපට දරා ගන්නත් බැරි තරමට.අපි දකින හීන කළුද සුදුද එහෙමත් නැත්තන් ඒ හීන රවුන්ද හතරැස්ද කියලවත් දන්නෙ නැතුව අපි අපේ හීනවලට පණ දෙන්න පොරකනවා.ඉතින් මේ හැමදේම අස්සේ අපිට හීනවලට පණ දෙන්න පුළුවන් වෙයිද?
                        කාලය කියන දේ හරිම ඉක්මනට ගෙවිලා යනවා.කාලය අපිට අල්ලන්න බැරි හින්දම තමයි අපි අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න මේ තරමටම පොරකන්නෙ.එකෙක් පස්සෙ අනිත් එකා තරඟෙට දුවන මේ ක්‍රමයේදී අපිට අපේ සමහර හීන ජීවිතේ ඇතුළෙදිම හීනයක්ම විතරක් කර ගෙන දියකර ගන්නෙ නැතුව ඒවාට පණ දෙන්න පුළුවන් වෙනවා.හැබැයි මේ දුවන තරඟ ඇතුළෙදී අපි උඹලා හැමෝටම මොනවාහරි දෙයක් මඟ හැරුණා කියලා හිතෙනවා.එහෙමත් නැත්තන් ජීවිතේට වැදගත්ම දේවල් ටිකක් අමතක වෙලා.ඉස්සර සල්ලි වලට ගන්න බෑ කියලා කියපු ගොඩක් දේවල් අද හරි හරියට විකිණෙන්න පටන් අරගෙන.සමාජෙත් එක්ක මේ දුවන දිවිල්ලට අපි හැමෝගෙම මනුස්සකම අඩු ලන්සුවට විනිණෙනවා.ඒත් එක්කම අපි තරඟෙට දුවන ගමන්ම බදාගෙන අල්ලගන්නත් බැරි තව ගොඩක් හීන බලාපොරොත්තු අපේ ගොඩට එකතු කර ගන්නවා.
                 මේකට තමයි අද සමාජය සිස්ටම් එක කියලා කියන්නෙ.මේ සිස්ටම් එක ඇතුළෙ අපි උඹලා හැමෝටම වෙන වෙනම මිලක් නියම වෙලා.ඒකෙදි අපි කරන්නෙත් වැඩිම මුදලකට අපිව විකුණ ගන්න පාර හදා ගන්න එක.එහෙම වෙනකොට ඉස්සර අපි පුංචි කාලෙ අපි ළඟ තිබුණු මනුස්සකම,යාලුකම, සහෝදරකම මේ හැම බැඳීමක්ම අපිටත් නොදැනීම සල්ලිවලට විකිණලා.හැම දෙයක්ම නැතිවෙලා.ජීවිතේ මහ ගොඩාරියකින් ඉස්සරහට යන්න හැම අතින්ම සාර්ථක මනුස්සයෙක් වෙන්න හීන මවලා ඒවා එකින් එක සම්පූර්ණ වෙද්දි අපේ ජීවිතේ අනිත් පැත්ත කාටවත් කියා ගන්න බැරි රික්තකයක් එහෙමත් නැත්තන් මහා ලෙකු හිස්තැනත් හැදිලා.සමහර විට අයෙමත් ඒක කවදාවත්ම පුරවගන්න බැරි වේවි.
               හීන බලාපොරොත්තු පස්සෙ හැල්මෙ දුවන අපි උඹලා හැමෝගෙම ජීවිතේ ගොඩක් වටිනා දේවල් මඟ හැරිලා.යාළුකම්,මනුස්සකම්,බැඳීම්,සහෝදරකම් හැමදේම කඩාගෙන වැටිලා.මේ රේස් එකේ දුවනකොට එකෙක්ගෙ කකුලෙන් ඇදලා ඌ වැටුණම ඌ දිහා බලලා හිනාවෙන තත්වෙට අපි යාන්ත්‍රිකව පත්වෙනවා.එහෙම නැත්තම් දක්ෂයන්ට වළ කපලා කේළාම් කියලා තමන් ඒ තැනට කොහෛාම හරි පත්වෙනවා.තමන් ගැන විතරක් හිතන මිනිස්සු බිහිවෙලා ඉන්නවා.අද ඉපදෙන පුංචිම පුංචි දරුවගෙ ඉඳලා මහල්ලා වෙනකම්ම මේ සිස්ටම් එක  මනුස්සයාට හුරු කරවන්නෙ ආත්මාර්ථකාමීත්වය.ඒ ආත්මාර්ථකාමී බවෙන් හික්මවන මනුස්සයාගෙන් සමාජයක් විදිහට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්.ඇඳගෙන ඉන්න ඇඳුම,ෆෝන් එකේ ස්ක්‍රීන් සයිස් එක,කතා කරන විදිහ වගේ දේවල් තමයි අද සමාජය අපි උඹලා හැමෝවම මනින හරිම සරල මිනුම් දඬු.ඒක හින්දා තමයි අපි හැමෝම තමන්ටත් මේ ක්‍රමය ඇතුළෙ පුංචිම හරි ඉඩක් හදා ගන්න මේ තරමටම දතකන්නේ.ඒකෙදී යාලුකම්,සහෝදරකම්,බැඳීම් අඩු ලන්සුවට කේවල් වෙනවා.
                      පෙනුමට සල්ලි තියේනම්,පොෂ් විදිහට අඳිනවානම් ඒකට මහා ඉහළින් සලකන්න මිනිස්සු අද දෙපාරක් හිතන්නෙ නෑ.ඉස්සරහට ඇවිත් මූනිච්චාවට හිනා වෙලා අතට අත දීලා සුබ පතන ගොඩක් මිනිස්සු කරන්නේ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින එක.ඒක තමයි මේ සිස්ටම් එක මනුස්සයාට දෙන තෑග්ග.ඉතින් අපි උඹලා හැමෝගෙම ජීවිතවල පාට පාට හීන තියෙනවා.ඒ හීන වලට පණ දෙන්න දුවන රේස් එකේදී ගොඩක් අයට ජීවිතේ සතුට මඟ හැරෙනවා.ජීවිතේදී විඳින්න ඕන දේවල් ගොඩක් මඟ හැරුණා කියලා පස්සෙ කාලෙකදි දුක්වෙනවා.හීනවලට වගේම අපිටත් නොදැනීම අපෙන් මඟ හැරෙන දේවල්වලටත් වටිනාකමක් දෙන්න අපි පටන් ගමු.  


 
 

හීන හා අරගල

                       පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම...