Powered By Blogger

Saturday, June 3, 2017

ජුකී මැෂිමට දියවෙන ජීවිත

                     











                               

                                        ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි.එහිදී මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්ත අතර ඇඟලුම් කර්මාන්ත සේවය විශේෂිතයි.52% ක් පමණ කාන්තාවන් ජීවත් වන අතර ඒ අතරිනුත් ඔවුන් බොහෝ දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කිරීමට දිනපතාම පැමිණෙයි.මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රමුඛ රැකියාවක් වන ඇඟලුම් කර්මාන්ත සේවාවට බොහෝ කාන්තාවන් එක්ව සිටියද බොහෝ විට සමාජයක් ලෙස ඔවුන් පිළිබඳව කතා කරනු ලබනුයේ ඉතා අවම වශයෙනි.
   
               ඉකුත් 08 වනදා අප සැමරීමට යෙදුණේ ජගත් කාන්තා දිනයයි.එම දිනයේදී බොහෝ මාධ්‍යයන් කාන්තාවන් ප්‍රමුඛ කරගත් විලාසිතා,සූපවේද ක්‍රම,රූපලාවන්‍ය වැනි වෙළඳ ව්‍යාපාරිකයන් පොහොසත් කරවන වැඩසටහන් දියත් කරමින් කාන්තාවන් රවටන්නට වූවේ තරඟයට මෙනි.එදින බොහෝ කාන්තාවන්ද මාධ්‍යන්ගේ යටි අරමුණ නොදැන රූපවාහිනී තිරය ඉදිරියට වී දෑස් දල්වා බලා සිටියද රටේ තවත් කොනක සිටින එවැනිම කාන්තාවෝ පිරිසක් ජුකී මැෂිමක් ඉදිරිපිට හිඳ තම ශ්‍රමය වගුරවති.
                         සමාජයක් ලෙස ගත් කළ අද වන විට කලාප යුවතියන්ට ඇති පිළිඟැනුම කෙබඳුදැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත.ඒ නමුත් දිනකට වෙළඳ කලාපය ප්‍රධාන කොටගත් එවැනි ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයක සේවාව සඳහා තරුණියන් බොහෝ ප්‍රමාණයක් ඇඳී එයි.එහිදී ඔවුන් රැකියාව කරමින් ජීවත් වීමට සිදුවන කුලී කාමරයේ ඇත්තේද අවම පහසුකම්ය.එවැනි ස්ථාන වල සෞඛ්‍ය තත්ත්වයේ ඇත්තේද අවම පහසුකම්ය.ඒ තැන්වල සෞඛ්‍ය තත්ත්වය,සනීපාරක්ෂාව,ඉතාමත් දුර්වල මට්ටමක පවතියි.ඒ නමුත් එය ඔවුන්ගේ අසරණකම නොවේද?ජුකී මැෂිමක් ඉදිරිපිට දෙකකුල් වේදනා විඳිමින් සිටගෙන සිටීමට යුවතියකට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.එහෙත් ඔවුන් මෙය කළ යුතුව ඇත.
                 බොහෝ විට තරුණියන් වෙළඳ කලාපයේ රැකියාවට පැමිණෙනුයේ තම කුඩා නංගිලා මල්ලිලාට උගැන්වීමටයි.සරසවියේ ඉගෙන ගන්නා තම සහෝදරයාට ඉගැන්වීමටයි.තම අසරණ මවට පියාට සරණක් වීමටයි.ලෙඩින් ඔත්පල වී සිටින මව රැකබලා ගැනුමටයි.බොහෝ කලාප යුවතියන්ගේ පවුල් යථාර්ථය එවැනිය.එහෙත් කොළඹ අහස යට මනුෂ්‍යත්වය සින්නක්කරට දී රුපියල් සත පසුපස හඹා යන බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ ජීවන යථාර්ථය නොවැටහේ.
               වර්තමානයේ ජීවත් වන තරුණයෙකුගෙන් නිකමට හෝ අසා බැලුවහොත් ඔහු කෙදිනක හෝ විවාහ වන්නේ කුමන ආකාරයේ තරුණියක් සමඟදැයි කියා ඔහු බොහෝ විට පවසන්නේ හොඳින් අඳින පළඳින පොෂ් කෙල්ලක් සමඟින් කියාය.ඔවුන් ගාමන්ට් කෙල්ලක් විවාහ කර ගැනීමට බොහෝ විට නොසිතනු ඇත.මෙයට වසර කිහිපයකට ඉහතදී පැවසූවේ කොල්ලා ආමි කෙල්ල ගාමන්ට් නියමෙට ගැළපෙන ජෝඩුව ලෙසය.වෙළඳ කලාපයේ රැකියා කරන තරුණියකට සමාජයේ ඇති පිළිඟැනුම අද තෙක්ම වෙනස් වී නොමැත.
                  සමාජයේ බොහෝ උගත් බුද්ධිමතුන් සිතනුයේ හරිහැටි උගත්කමක් නොමැති මෝඩ පිරිසක් එහි සේවයට යන බවයි.එහෙත් එවැනි උන් බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රාශියක් ඇත.කලාපයේ රැකියාව කරන තරුණියන් අතර අප වැනි සරසවිවල ඉගෙනුම ලැබූවන්ද සිටියි.උපාධිය ලබාගෙන රැකියාවක් ලැබෙන තෙක් තවත් වසර ගණනක් නිවසට බරක් විය නොහැකි තරුණියන් අවසන තීරණය කරන්නේ කුමක්ද?වෙලඳ කලාපයේ රැකියාවට යාම නොවේද?
                වෙළඳ කලාපයේ තරුණියන් බොහෝ විට අතිකාල වැඩද කරනු ලබයි.එවැනි දිනවල ඇතැම් විට ඔවුනට නවාතැනට ඒමට ලැබෙන්නේ රාත්‍රී 10 පමණ වන විටයි.මෙවැනි තත්ත්වයක් යටතේ වුවද ඔවුන්ගේ සේවාව ලබාගන්නා කිසිදු ආයතනයක් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකියනු නොලබයි. දිවා රාත්‍රිය නොලබමින් ජුකී මැෂිම තම ජීවිතයම කර ගනිද්දී බොහෝ විට ඔවුන්ගේ සේවාව ලබාගන්නා ආයතනය ශ්‍රමයට සරිලන වැටුපක් හෝ නොගෙවයි.
                  කුඩා කල වර්ෂාවක් පවතින විට අප බොහෝ දෙනෙකු කඩදාසි බෝට්ටු සාදා තරඟයට මෙන් ගලන ජල පහරට බෝට්ටු දමන්නේ ඒවා දියේ ගිලෙන බව දැනගෙනය.නමුදු අප ඒ සතුටට ආදරය කරන්නෙමු.එවැනි සුන්දර අතීතයක් ඔබ අප ඇතුළු බොහෝ දෙනෙකුට අයිතිව තිබුණි.කලාප යුවතියන්ටද තමන්ගේ ජීවිතයට මහා ලොකු බලාපොරොත්තු නොවුණත් ඔවුන්ටද තමන්ටම කියා පුංචි හීන ලෝකයක් ඇත.ඔවුන් ජකී මැෂිම ඉදිරිපිට හිඳ කරනුයේ එම සිහින ඇහිදීම නොවේද?එහෙත් අප ජීවත් වන සමාජයේ මිනිසුන් බොහෝ දෙනා මනිනු ලබන්නේ බාහිරිනි.පුද්ගලයා උසස් හෝ පහත් වන්නේ ඔහු කරනා රැකියාව අනුවද?රටක් සංවර්ධනය කිරීමට සුවිශාල මෙහෙයක් කරනා කලාප යුවතියන් පිළිබඳව ඔබ තවමත් සිතිය යුත්තේ එසේමද?





Friday, June 2, 2017

සරසවි හීන සහ අරගල

                     









                                                        ඉපදුණ දවසෙ ඉඳලා අපි හැමෝම එකා පස්සෙ එකා දුවලා දුවලා අන්තිමට උසස් පෙළින් පස්සෙ කැම්පස් යන එක ගැන මහා හීන ගොඩකුත් තුරුළු කරගෙන අපි වගේම තරඟෙට දුවපු තවත් උන් ගොඩක් ඒ තරඟන් අතරමඟ හැලෙද්දී අපි කැම්පස් එනවා.හැබැයි කැම්පස් ඇවිත් මාස තුනක් යන්නත් කලින්ම උසස් පෙළ කරන කාලෙ අපේ සර්ලා කැම්පස් එක ගැන කියපු කතා ඔක්කොම බොරු කියලා අපිට තේරෙනවා.ඒත් එතකොට අපි කැම්පස් ජීවිතේට හුරු වෙලා ඉවරයි.එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් අපි හැමෝම ඒ ජීවිතේට ගානට සෙට් වෙනවා.ඒ ජීවිතේ ඇතුළෙ උපරිම පිස්සු නටන්නත් ඒ වගේම ටවුන් එකත් ටවුන් එකක් ගාණෙ බුක් මාක් ස්ටිකර් වගේ දේවල් විකුණන්නත් ප්ලේන්ටියක්වත් නැතුව කැට හොල්ලන්ඩත් අපි ඒ වෙද්දී පුරුදු වෙලා ඉවරයි.ඒ වගේ පුංචි පුංචි දේවල් මහ ගොඩාරියක්  කරලා අතට ගාණක් හොයා ගෙන තමයි කැම්පස් අපි හැමෝම කලා උළෙලවල් නාට්‍ය වගේ දේවල් කරන්නෙ.
                          කැම්පස් එකේ තවත් එක පැත්තක් තියෙනවා.ඒ තමයි අසාධාරණේට විරුද්ධව කතා කරන එක.උද්ඝෝෂණ කරන එක.මේ වගේ දේවල් ටිකක් විතරක් හින්දා කැම්පස් අපිට මේ සමාජයේ ඉන්න මිනිස්සු එක එක ස්ටිකර් ගහනවා.සමහරු කියනවා දේශපාලකයන්ට කඬේ යනවා කියලා.තවත් අය මුන්ට කොච්චර දුන්නත් මදි කියනවා.ඒ වගේම තවත් කට්ටියක් කියන්නේ මුන්ට කැම්පස් එකට වෙලා පොතක් පතක් බලාගෙන ඉන්න බෑනෙ කියලා.මොන විදිහට මිනිස්සු අපිව කිරලා මැනලා බැලුවත් ඇත්තටම අපි අරගල කරන්නෙ අපිට වෙන අසාධාරණකම් හින්දා.ඒ කියන්නේ කැම්පස්වල බඳවා ගැනීම් වැඩි කරන්න,පාසල් වල මුදල් අය කිරීම් නවත්තන්න වගේ දේවල් වලට.කැම්පස් එකේ කොල්ලො කෙල්ලො මාර කට්ටක් කනවා ජීවත් වෙන්න.ඒකෙදී සමහර දවස් වල කෑම වේල අපි පුංචි ප්ලේන්ටියකින් ෂේප් කර ගන්න පුරුදු වෙනවා.ඒ වගේම රබර් සෙරප්පු  කෑලි දෙක හිල් වෙකම්ම දාන්නත් අපිට පුළුවන්.කැම්පස් එකේ ගොඩක් උන්ට අතට ගාණක් හොයා ගන්න පාර්ට් ටයිම් රස්සාවල් කරන්න වෙලා තියෙනවා.මේක තමයි යථාර්ථය.ඒකට හේතුව කැම්පස් ගොඩක් උන්ට ඉගෙන ගන්න ගමන් තමන්ගේ පවුලත් ගොඩදාන්න වෙලා තියෙන එක.ඒ වගේ දේවල් සමාජයේ ගොඩක් මිනිස්සු දකින්නේ නෑ.ඒත් ඒක කැම්පස් අපි හැමෝගෙම ජීවිතවල ඇතුල් පැත්ත.ඒ වුණාට සමාජය අපිව මනින්නෙ අපි කකුල් කැඩෙනකම් පා ගමන් යන උගුර රිදෙනකම් කෑ ගහන උද්ඝෝෂණ වලින් විතරයි.
                           අදටත් උපාධිධාරීන් හතලිස්දාහකටත් වඩා ඉන්නවා රස්සා නැතුව.මේ ප්‍රශ්නයට උද්ඝෝෂණයක් පහුගිය දවසක ක්‍රියාත්මක වුණා.පොලීසිය තමන්ට සුපුරුදු විදිහටම අවම බලය යොදලා කඳුළු ගෑස්,ජල ප්‍රහාර එල්ල කරලා ඒක විසුරුවා හැරියා.තමන්ගෙ දුව පුතා උපාධිධාරියෙක් වුණාම ගමේ ඉන්න අම්ම තාත්තා හිතන්නෙ තමන්ගෙ උගත් දරුවො එයාලව බලා ගනියි කියලා.ඒක හීනයක්ම විතරයි කියලා එයාලට හිතෙන්නෙ උපාධිධාරී පුතා දුව රස්සාවක් නැතුව ගෙදරට වෙලා තවමත් එයාලගෙන්ම යැපෙන තත්වෙට පත්වුණාමයි.කැම්පස් ඉන්න අපි හැමෝම ඉපදුණ දවසෙ ඉඳලා මාර කට්ටක් කන්නෙ.කැම්පස් එක ඇතුළෙ තියෙන්න වෙනමම ක්‍රමයක්.අපේ භාෂාවෙන් කියනවා නම් ඒක තමයි කැම්පස් එකේ තියෙන  සිස්ටම් එක.
කැම්පස් එකේ එහෙට මෙහෙට තල්ලු වෙලා තැලිලා පොඩිවෙලා අන්තිමට උපරිම කට්ටක් කාලා උපාධිය අතට ගත්තමත් රස්සාවක් නැතුව ඉන්න වෙනව නම් ඒ තරමේ කාලකණ්ණි කමක් අපේ ජීවිතේට තවත් නම් නෑ කියලා තමයි හිතෙන්නේ.ඒ වගේම තත්වයක් ඇතුළේ ඉඳගෙන තමයි රැකියා විරහිත උපාධිධාරීන් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න උද්ඝෝෂණ සංවිධානය කරන්නෙ. සමාජයේ මිනිස්සු ඒ දේවල් දිහා එක එක කෝණයන්ගෙන් බැලුවත් අවසානයේදී තමන්ගෙ ඉල්ලීම් දිනා ගන්න තියෙන අන්තිම ක්‍රමය තමයි උද්ඝෝෂණ කියලා කියන්නෙ.මොකද ඉතිහාසයේ කවදාවත් පාලක පන්තිය මිනිස්සුන්ගෙ ඉල්ලීම් තමන්ගෙ කැමැත්තෙන් පිළිඟැන්වූවෙ නැති හින්දා.වෙනත් රටවල තරුණයන් කියන්නෙ ඒ රටේ සම්පතක්.හැබැයි අපේ රටේදි ඔවුන්ට සලකන්නෙ අවම බලය යොදාගෙන.මිනිස්සු හැමෝම රුපියල් සත අස්සෙ දුවන මේ සමාජය ඇතුළේ උපාධිධාරියාට සුදුසු තැනක් ලබාදෙන්න මේ රටේ පාලකයන් වගබලා ගන්න ඕන කාලය ඇවිත්.ඔබත් හිතන්න මොහොතක්.    


ජීවිතය ඇතුළේ කෝ සැබෑ ආදරය


             











                            
                                                       
                                    “ආදරය” මේ වචනෙ දැක්ක ගමන්ම හිතට මහ අමුතු හැඟීමක් දැනෙනවා.හදවතේ එක පැත්තක් සීතල වෙලා යනවා වගේ හැඟීමක්.ආදරය කියන අකුරු හතරට අපේ ජීවිතයට මේ තරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලත් වෙලාවකට හිතෙනවා.ලෝකෙ පුරාම බිහිවුණු දක්ෂ මිනිස්සු කලාකරුවන්,දාර්ශනිකයන් ආදරය තේමා කරගෙන අමුතු නිර්මාණ බිහිකරලා තියෙනවා.හැබැයි මේ කිසිම කෙනෙක්ට ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම කියන්න බැරි වුණා. ඒ් ආදරය කියන වචනයෙ හැංගිලා තියෙන  සංකීර්ණ බව හින්දමයි.  
                  ජීවිතේ කවදා කොහොම කොයි වෙලාවකදී අපට ගැළපෙන හිතක් ආදරයක් හම්බවෙයිද කියලා කියන්න බැහැ.කතාවක් තියෙනවා තනිකඩව ජීවත්වෙන මිනිස්සු ළඟ තමයි හරිම ආදරය තියෙන්නෙ කියලා.ඒ මොකද එයාලගෙ ආදරය හරි වෙනස්.හරි අමුතුයි.ඉතින් එයාලට ගැළපෙන ආදරයක් හමුවුණේ නැති වුණහම එයාලා මුළු ජීවිත කාලෙම තනියෙම ඉන්නවා.හැබැයි ඉස්සර පෙම්වතුන් වගේ නෙමෙයි දැන් කාලෙ ඉන්න තාක්ෂණික පෙම්වතුන්.එයාලා හිතන පතන විදිහ හරිම අමුතුයි.ඒ කාලෙ පෙරුම්පුරාගෙන ප්‍රාර්ථනා කරපු ආදරය දැන් වෙනකොට මිස් කෝල් එකකින් පටන් අරගෙන හෝටල් කාමරයකින් ඉවර වෙන තත්වෙට පත්වෙලා තියෙනවා.එයාලගෙ ආදරය වැරදිලා ආපු මිස් කෝල් එකකින් එහෙමත් නැත්තම් මැසේජ් එකකින් පටන් ගන්නවා.ඒකෙ අලුත්ම ප්‍රවණතාවය විදිහට ෆේස් බුක් හඳුනගන්න පුළුවන්.ඒකෙන් තේරෙන්නෙ මේ වෙනකොට ආදරයත් ඩිජිටල්කරණයට ලක් වෙලා ඉවරයි කියන එක.මිනිස්සුන්ගේ හැඟීම් එක්ක කරන ආදරය වගේ ගණුදෙනුවකදී ඒක හරිම අවානාවන්ත දෙයක්.
                    අපේ පරම්පරාවෙ ඉන්න ගොඩක් කොල්ලො කෙල්ලො ආදරය කියලා කියන්නෙ ිැං කියලා වරදවා වටහා ගන්නවා.ඒකට සමාජමය කරුණුත් බලපානවා.කොහොම වුණත් ආදරයේ කෙළවරක තියෙන ිැං වගේ දෙයක් ආදරය පටන් ගන්න කොටම අත්හදා බලන්න යන තරුණ පරම්පරාවක් මේ වෙකොට හොයාගන්න පුළුවන්.ඒ වගේ ආදර කතන්දරවල ආදීනව අපට දවස තිස්සේම ජනමාධ්‍යයන්ගෙන් රසකර කර උණු කැවුම් තරඟෙට පෙන්නනවා.කතාවට කියන්නේ මිනිස්සු ආදරයට ආදරය කරනවා කියලා.ඒත් ඒ කතාව ඇත්තද කියලා මේ වෙකොට එකපාරක් නෙමෙයි දෙතුන් පාරක්ම හිතන්න වෙනවා.අද කාලෙ ආදරය හින්දම තරුණ තරුණියො තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන හැටිත් ආදරය අන්තිමට වෛරයක් බවට හැරවිලා තියෙන විදිහත් අපිට මාධ්‍ය තරඟට වගේ වාර්තා කරන විදිහ දැතගන්න පුළුවන්.
                   තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක් හම්බවුණානම් ඊයෙ මිස් කෝල් එකකින් පටන් අරගෙන අද වෙනකොට හෝටල් කාමරයකට තමන්ගෙ කෙල්ලව අරගෙන යන්නෙ නෑ.කොච්චර අපි මේ දේවල් ගැන කතා කරත් ගොඩක් ගෑණු ළමයි මේ වගේ දේවල් ගැන හිතන්නෙ නැති එක හරිම අවාසනාවක්.හැඟීම්වලට වහල් වෙලා ගන්න ගොඩක් තීරණ අන්තිමට ලොකු පසුතැවීමක් ඉතුරු කරනවා.එහෙම ගෑණු ළමයි තමන්ව ඔච්චර කාලයක් මලක් වගේ හදපු අම්මා තාත්තා ගැනවත් හිතන්නේ නැතුව තමන්ගෙ පෙම්වතා එක්ක හෝටල් කාමරයකට යන්නෙ තමන් කරන්න යන දේ ගැන දෙපාරක් හිතන්නෙ නැතුව.ඔවුන් තමන්ගෙ ආදරය කියලා අඳුරගෙන තියෙන්නෙ මොකද්ද කියලා ඒ වගේ තැනකදී අපට ප්‍රශ්නයක් එනවා.
                   සාජහාන්-මුම්ටාස්,සාලිය-අශෝකමාලා,ලයිලා-මජ්නු වගේ ගොඩක් ආදර කතා අපි ඉතිහාසයේදී කියවලා තියෙනවා.අහලත් තියෙනවා.හැබැයි මේ එක ආදර කතාවක්වත් ිැං කියන දේ ගැන මුල පටන්ගන්න තැනදිම කතා කරලා නෑ.ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි කියලා මට මතක සිංදුවක තිබුණා.ඇත්තටම ඒක එහෙමද?ප්‍රේමයට රාගයක් නැද්ද?රාගය නැතුව ප්‍රේමය කියන දේ විඳින්න පුළුවන්.ප්‍රේමයේ අවසාන ඵලය වෙන්නෙ රාගය.හැබැයි දැන් කාලෙ වැරැද්ද වෙලා තියෙන්නෙ ගොඩක් පෙම්වතුන් ප්‍රේමය පටන් ගත්ත දවසෙ ඉඳලම ඒක රාගය කියලා අඳුරගෙන තියෙන එක.පොදු ප්‍රවාහන සේවාවල අපට ඒ දේවල් හොඳට බලාගන්න පුළුවන්.දවසින් දවස ගෙවිලා යන ජීවිතේ ඇතුළේ සැබෑ ආදරය මොකද්ද කියලා අඳුනගන්න කාලය ඇවිත්.


සයිටම් අඳාල නැද්ද?


                   










                                     
                             ඕනෑම රටක් දියුණු වෙන්න නම් මූලික සාධක කීපයක් තියෙන්න ඕනෑ.ඒ අතරින් උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් තිබීම ප්‍රධානයි.පොඩි ළමයෙක්ගෙන් අපි නිකමට වගේ ඇහුවොත් ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා ගොඩක් ළමයි කියන්නෙ ඩොක්ට කෙනෙක් වෙන්න කියලා.ඒ තරම්ම අපි පොඩි කාලෙ ඉඳලා බෙහෙත් ගන්න ගියාම වෙද නළාව කරේ දාගෙන සුදු පාටට ඇඳලා ඉන්න ඩොක්ටට ආස කරනවා.අපේ හීන පොඩි කාලෙ එහෙම වුණාට වෛද්‍යවරයෙක් වෙන එක ලේසි පහසු කාර්යක් නෙවෙයි.ඒ තත්වෙට ළඟා වෙකොට අපි ජීවිතේ ආසා කරන ගොඩක් දේවල් අත් හරින්න වෙනවා.
                            ඒ කොහොම වුණත් මේ පවතින ධනවාදී ආර්ථිකය ඇතුළෙ හැම දේම සල්ලි වලට විකිණෙනවා.ඒක තමයි ඇත්ත කතාව.ගොඩක් දෙනෙක් නොදන්නෙත් මේ ඇත්තම වෙන එක හරිම ඛේදජනකයි.මේ ධනවාදී ආර්ථිකය ඇතුළෙ දැන් පවතින නිදහස් සෞඛ්‍යටත් මිලක් නියම වෙලා ඉවරයි.ඇත්තටම මාලබේ සයිටම් උපාධි ආයතනයට ගොඩක් පිරිසක් මේ විදිහට අකමැති වෙන්නෙ ඇයි කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.ඒකට ප්‍රබල හේතුවක් තියෙන්න ඕනෑ.මේ ප්‍රශ්නෙදී ගොඩක් වෙලාවට සයිටම් වෛද්‍ය උපාධියට විරුද්ධව අරගල කරන්න පෙරමුණට එන්නෙ සරසවි ශිෂ්‍යයන්.හැබැයි ඒ ශිෂ්‍යයන් මේ ක්‍රමයට විරු්ධව අරගල කරනකොට පාර බොලොක් වෙනවා කියලා මහ හයියෙන් කෑ ගහන අපේ මිනිස්සු ඉන්දියාවෙ මෙලෝ වැඩකට නැති නිළියක් ගෙන්නනකොට පාර මැද්දෙ අත වන වනා සෙනඟ අස්සෙ පීර පීර ඒ නිළියව බලන්න පොරකනවා.මේකයි යථාර්ථය.අපේ ප්‍රශ්න ගැන කතා කරනකොට සංවේදී වෙන්නෙ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා.ඒ වුණත් මේ ප්‍රශ්නෙ බලපාන්නෙ සරසවි ශිෂ්‍යන්ට විතරක් නෙවෙයි.සයිටම් ප්‍රශ්නෙ මේ සමාජයේ විසිරිලා පැතිරිලා ඉන්න අපි හැමෝටම එක වගේම බලපානවා.ඇත්තටම සයිටම් එක කියන්නෙ විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ කරලා අඩු සාමාර්ථ ලබා ගත්තත් අතේ යහමින් සල්ලි තියේනම් වෛද්‍ය උපාධිය ලබාදෙන උපාධි කඩයක්.
                මේ මාලබේ සයිටම් උපාධි ආයතනයෙන් පිටවෙන පළමුවැනි ශිෂ්‍යයෝ කණ්ඩායම මේ වෙනකොටත් පිටවෙලා ඉවරයි.හැබැයි මේ අයට වෛද්‍යවරුන් විදිහට සේවය කරන්න කිසිම අවස්ථාවක් නෑ.ඒ මොකද කිව්වොත් මේක පිටිපස්සෙ ලොකු හේතුවක් තියෙනවා.මේ විදිහට කිසිම ගුණාත්මක බවක් නැතුව වෛද්‍යවරුන් විදිහට සේවය කරන්න ගියාම ඒකට වග කියන්න වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ වෛද්‍යවරුන්ගෙන් සේවය ලබා ගන්න දුප්පත් අපි වගේ සාමාන්‍ය ජනතාවට.ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නෙ පිටරටින් සේවය ලබා නොගන්න දුප්පත් අපිටම නේද?හැබැයි අපේ රටේ ඉන්න ගොඩක් මැති ඇමතිවරු මේ සයිටම් ආයතනයට කැමැත්තක් දක්වනවා කියන එක මේ වෙනකොට පරම සත්‍යක් බවට පත්වෙලා තියෙනවා.ඒ මොකද කිව්වොත් මේ ආයතනයට තමන්ගෙ පිරිස් සම්බන්ධයි.ඒ ගෛ්ම තමයි පාලන අධිකාරිය කිසිම වෙලාවක පොඩි ලෙඩකටවත් අපේ රටේ සෞඛ්‍ය සේවය ලබා නොගෙන පිට රටවල සෞඛ්‍ය සේවය ලබා ගන්න හින්දා.ඒ හින්දම අපේ රටේ බුද්ධිමත් පාලකයන්ට මේ මාලබේ සයිටම් ආයතනය අඳාල නෑ.
                    පාලකයන්ට එහෙම වුණාට අපිට මේ සයිටම් ආයතනය අඳාල නෑ වගේ ඉන්න පුළුවන්ද?බෑ.මොකද මේ ආයතනය මඟින් කරන්නෙ අපේ ජීවිත අපිටත් හොරෙන් සිල්ලරට වෙන්දේසි කරන එක.අපිට මේ ආයතනයේ ඉන්න කිසිම ශිෂ්‍යයෙක් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ.තරහකුත් නෑ.ඇත්තටම අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ වෛද්‍ය උපාධිය මේ විදිහට කිසිම ගුණාත්මක බවක් නැතුව රුපියල් සත වලට කේවල් කරන පාලන ක්‍රමය එක්ක.මොන ප්‍රශ්න තිබුණත් අපේ රටේ සෞඛ්‍ය සේවයට අනිත් රටවල් අතර හොඳ පිළිඟැනීමක් තිබුණා.හැබැයි ඉස්සරහටත් ඒ තත්වෙ එහෙමම තියෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ.ඒ වගේම තමයි කිසිම පිළිඟත්ත ආයතනයක් මේ මාලබේ සයිටම් උපාධි ආයතනය බිහි කරන්නේ උසස් වෛද්‍යවරු කියලා පිළිඟන්නේ නෑ.ඒ හින්දා මේ මාලබේ සයිටම් ප්‍රශ්නෙ ඔයාලා අපි හැමෝටම අඳාල නෑ වගේ හිටපු කාලෙ අවසන් කරන්න කාලය ඇවිත්.

Monday, May 29, 2017

නූතන ගීතයහි වල්මත් වීම

                  
  













මේ ලෝකෙ තියෙන ලස්සනම වගේම සුන්දරතම දේ මොකද්ද කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි.හැබැයි මේ ලෝකෙ තියෙන ලස්සනම දේ තමයි සංගීතය කියලා කියන්නෙ.සංගීතය කියන්නෙ ඇත්තටම විශ්ව භාෂාවක්.ලෝකෙ පුරාම විවිධ ජාති,ආගම්,කුල,ගෝත්‍රවලින් බෙදිලා වෙන්වෙලා ඉන්න මිනිස්සු එකතු කරන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් සංගීතයට තියෙනවා.මිනිස්සුන්ව අනන්තයටම ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙන්නෙ සංගීතයට විතරයි.
                   සංගීතය ගැන කියනවා නම් අපිට පත්තර පිටු ගණන් ඒ විදිහට ලියලා පුරවන්න පුළුවන්.හැබැයි අද අපේ රටේ සංගීතය තියෙන්නෙ මොන වගේ තැනකද?මූලිකවම අද අපේ රටේ සංගීතය කියන එක රූප රචනාවකට සීමා වෙලා තියෙනවා.ඒකට වැඩිම දායකත්වයක් දෙන්නෙ පෞද්ගලික බස් අයිතිකරුවන්.අද ඕනම කෙනෙක්ට අතේ යහමින් සල්ලි තියේනම් එක රැයකින් ගායකයෙක්
වෙන්න පුළුවන් තත්වයක් ඇතිවෙලා.ඒකට ඕන වෙන්නෙ හරිම පොඩි දේවල් ටිකක්.තමන්ගෙ අඩ නිරුවත වෙන්දේසි කරන්න පුළුවන් රඟපෑම කියන දේ ඇඟේ ගෑවිලාවත් නැති පොත්ත සුදු කෙල්ලෙකුත් ඒකටම ගැළපෙන කොල්ලෙකුත් හොයාගන්න එක අද ඒ තරම් අමාරු වෙන්නෙ නෑ.ඒ වගේම තමයි සංගීතයේ ස්වර හත වත් හරියට අඳුරන්නෙ නැති ගායකයෝ කියලා තමන්ම කියාගන්න පිරිසක් අද අපේ රටේ බිහිවෙලා.දවසෙ ඕනෑම වෙලාවක  නාලිකාවක් දැම්මොත් අපට ඇහෙන්නෙ පේන්නෙ වෙන මනුස්සයෙක් එක්ක ගියපු තමන්ගෙ පෙම්වතියට සුබ පතපතා නාහෙන් අඬන අඳෝනා තියන ගායකයො.ඉතින් ඒවා බලන මිනිස්සුන්ට අනේ අපොයි කියවෙන්නෙ ඉබේටමයි.
                 සිල් බිඳගත්ත ගීතය මේ වෙනකොට ආශාවරීගෙ ඉඳලා අති සාර්ථකව ගොඩක් කඩඉම් පහුකරගෙන ඇවිත් තියෙනවා.මෙහෙම කතා කරනකොට සමහර අය කියනවා අපි සංස්කෘතිය කියන දේ කරපින්නාගෙන දූපත් මානසිකත්වයෙන් තවමත් ජීවත් වෙනවා කියලා.ඕනම දියුණු රටක සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා.ඇත්තම කතාව තමයි සංස්කෘතියක් නැතුව අපට පැවැත්මක් නෑ කියන එක.ඒ සංස්කෘතික රාමුව ඇතුළෙ අද සමාජයේ සිද්ධවෙන දේවල් සිංදුවකින් පෙන්නලා ප්‍රේක්ෂකයාට ඒ දේ ලබලා දෙනකොට අඳාල නිර්මාණය කලාත්මකව කරන ක්‍රමයක් තියෙනවා.හැබැයි අද වෙන්නෙ ඒකද?අමු අමුවේ සිද්ධ වෙන දේවල් එහෙම්පිටිම්ම ගෙඩිය පිටින් පෙන්නන එක සාර්ථකද?නෑ.අපේ රටේ බාල බොළඳ ගායකයො කියලා කියාගන්න අය හිතන්නේ යූ ටියුබ් එකේ තමන්ගෙ සිංදුව බලන පිරිස වැඩි වුණා කියලා තමන් සාර්ථකයි කියලා.අද තියෙන ගොඩක් රූප රචනා ගායකයාගේ සිංදුවට ගැළපෙන්නේ නෑ.එක අතකින් කිසිම තේරුමක් නැති සිංදු වලට රූප රචනා කරන එකත් හැම අමාරු වැඩක්.
                  එකම විදිහේ එකම රැල්ලක් ඇතුළේ අද තරුණ ගායකයො හිරවෙලා ඉන්නවා.ඒකෙන් මිදෙන්න කියලා තවත් සමහර ගායකයො පිරිසක් තමන්ගෙ සිංදුව ඇතුළට කොහේ හරි ඉන්න නිරූපිකාවකගෙ හරි තරුණියකගෙ හරි නිරුවත රිංගවනවා.එහෙම කරලා අපි හරි වෙනස් කියලා පොර ටෝක් දෙනවා.හැබැයි එහෙම සිංදු ගෙදර අම්මලා තාත්තලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්ද?ඒ වුණත් ලංකාවේ ගොඩක් නාලිකා වලින් කරන්නෙ තවත් මේ ගායකයන්ව උස්සලා පුම්බලා අරගෙන තමන්ගේ චැනල් එකේ රේටින්ස් වැඩිකර ගන්න එක.අහම්බෙන් හරි එක්කෙනෙක් ගුණාත්මක බවක් තියෙන සිංදුවක් අරගෙන මාධ්‍යට ගියොත් ඒ මාධ්‍යයෙන් ඒ පුද්ගලයව ප්‍රතික්ෂේප වෙන්නෙ හරිම ඉක්මනට.ඒක තමයි අද යථාර්ථය.වර්තමාන ගායකයො නාහෙන් අඬඅඬා කියන සිංදුවල පද ගොඩක් වෙලාවට අඳාල ගායකයාටවත් මතක නෑ.ඒකෙන්ම ඒ සිංදුවෙ ගුණාත්මක බව ගැන මිනිස්සුන්ට තේරුන් ගන්න පුළුවන්.
                 ඉස්සර කාලෙ සිංදුවක් අපිට එක පාරක් ඇහුවත් අවුරුදු ගාණක් යනකම්ම මතක තියෙනවා.හැබැයි අද නම් එහෙම සිංදුවක් බේතකටවත් හොයාගන්න නෑ.ඒ වගේම අද ඉන්න තරුණ පරම්පරාවේ රසවින්දනය කියන දේ කොටුකරලා.හැබැයි ඉස්සර එහෙම නෑ.සිංදුවක් ඇහුවහම චිත්ත රූප මැවෙනවා.දැන් සිංදුව අහන ගමන් අපට තියෙන්නේ රූප රචනාව දිහා ඇස් ලොකුකරගෙන බලාගෙන ඉන්න විතරයි.සැප වාහනයක් ගන්න,ලක්සිරි ගෙයක් හදන්න වගේ ටාගට් කවර් කරන අද ගායකයන්ට ගුණාත්මක සිංදුවක් කරන්න ඕන කියන ටාගට් එක හරිම ඉක්මනට අමතක වෙලා ගිහින්.මේ විදිහට ඉවක් බවක් නැතුව හැදෙන ගීත කලාව දැන් වෙනස් වෙන්න ඕන කාලෙ ඇවිත්.එහෙම නැති වඅණොත් අපේ අනාගත පරම්පරාව කිසිම රසවින්ඳනයක් නැති යාන්ත්‍රික මිනිස්සු කොටසක් බනට පත්වෙන එක කාටවත් නවත්වන්න බැරි වේවි.    

Sunday, May 28, 2017

ස්මාට් අධ්‍යාපනය

                  










                     අධ්‍යාපනය කියලා කියන්නේ ජාති, ආගම්,කුල,මල කිසිම භේදයක් නැතිව අපි හැමෝටම ලැබිය යුතු වරප්‍රසාදයක්.එහෙමත් නැත්නම් අයිතිවාසිකමක්.එදා කන්නන්ගර මහත්තයා හරිම අමාරුවෙන් ලබලා දුන්න නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න දුප්පත් පොහොසත් භේදයක් නැතිව  අපි හැමෝටම අධ්‍යාපනයේ ආනිශංස විඳගන්න ලැබිලා තියෙනවා.හැබැයි අද වෙනකොට තර්ජනයට ලක්වුණ නිදහස් අධ්‍යාපනය පණ ඇඳ ඇදා හරි පවතින්නෙ ශිෂ්‍ය අරගලවල පිහිටෙන්.එහෙම නැති වුණානම් ගොවියගෙ පුතා ගොවියෙක්ම වෙන්න කම්කරුවගෙ පුතා කම්කරුවෙක්ම වෙන්නත් ඉඩ තිබුණා.
                  හැම අවුරුද්දකම ලංකාවෙ ලක්ෂ 3ක් විතර ශිෂ්‍යයෝ පිරිසක් උසස් පෙළ ලියනවා.හැබැයි අවාසනාවකට වගේ ඒකෙන් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නෙ 25000 වගේ හරිම සුළු පිරිසකට විතරයි.ඒක ශිෂ්‍යයන්ගෙ වැරැද්දක් නෙමෙයි.ඒ 25000 අත්හැරුණාම ඉතුරු ලක්ෂ ගාණට මොකද වෙන්නෙ.ඒ තරුණයන්ගෙ උත්තර නැති ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්නෙ කවුද?ආර්ථික ප්‍රශ්නත් එක්ක ආයෙමත් සැරයක් විභාගෙ ලියනවාද?දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඔහේ ගෙදරටම වෙලා ඉන්නවද?කොහොම හරි කට්ටක් කාලා ත්‍රීවීල් එකක් අරගෙන රෝද 3ට තමන්ගෙ ජීවිතේ බාරදෙනවාද?ආමි එකට යනවද?එහෙමත් නැත්තන් ගාමන්ට් යනවාද?හන්දියක් ගානෙ බෝක්කුවක් ගානෙ වේලි වේලි චාටර් වෙනවද?මේ වගේ මහා ප්‍රශ්න ගොඩකට ඒ ඉතුරුවෙන තරුණ ජීවිත උත්තර හොයනවා. මේ තරුණ පිරිස ක්‍රමවත්ව රටේ සංවර්ධනයට දායක කරගෙන රට ගොඩගන්න විධිමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවුරුදු ගාණක් තිස්සේ බලයට පත්වුණ කිසිම පාලකයෙකුට තිබ්බෙ නෑ.දැන් කියලත් ඒකෙ ඒ හැටි වෙනසක් නෑ.
                     රටේ තරුණයන්ගෙ ශ්‍රමය ශක්තිය අපතේ නොයවා නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදලා ප්‍රයෝජනයට ගත්තා නම් අද වෙනකොට අපේ රට අනික් රටවල් පහුකරගෙන ගොඩක් දුර ඇවිත්.හැබැයි මේ අධ්‍යාපන ක්‍රමයෙන් කොහොම හරි වාසිය ගන්නෙ අපේ රටේ අඳබාල දේශපාලකයන්.ඒ ඡන්ද මගඩි වලින්.රස්සා දෙනවා,රටේ නොමිලේ වයිෆයි කලාප ඇති කරනවා වගේ මෝඩ සුරංගනා කතා කියලා තරුණයන්ට එක එක හීන පෙන්නලා ඔවුන් කරන්නෙ හැමදාමත් තරුණයන්ව රවට්ටන එක.මේ දීර්ඝ කාලීන රැවටීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටේ තරුණ කැරලි දකින්න පුළුවන් වුණේ.ඒකට වැරදිකාරයො වෙන්නෙ කුණු වුණු දේශපාලනය පෙරටු කරගත්ත මේ මුළු සමාජයමයි.ඒකෙන් අපට වටිනා කියන තරුණ ජීවිත දහස් ගාණක් අහිමි වුණා.
             
                    පාසල් සිසුන්ට ටැබ් දීලා ස්මාට් ක්ලාස් හැදුවා කියලා පාරම්බාන්න කලින් රටක් විදිහට අපිට අධ්‍යාපනයේ දියුණු කරගන්න ඕන තැන් එමට තියෙනවා.තවමත් ඉගෙන ගන්න අකුරක් ලියන්න හරිහමන් ශාලාවක් නැති පයේ දාගෙන යන්න සපත්තු දෙකක් නැති ළමයි ඕනෑතරම් ඉන්නවා.පාසල් අධ්‍යාපනය සීග්‍රගාමී ගමනක යෙදෙනකොට  අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවමත් තියෙන්නෙ හරිම මන්දගාමීව.මේ දෙක හරිම පරස්පරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පැහැදිගිවම අනාගත ලෝකයට ඔබින ලෙස වෙනස් විය යුතුමයි. අධ්‍යාපනය නමට ස්මාර්ට් කරලා ගැලරිය පිනවන්න ප්‍රතිපත්ති හදන පාලකයො රටේ අධ්‍යාපනය ගැන නිවැරදි අවබෝධයකින් කටයුතු කරනවානම් මීට වඩා හොඳ අධ්‍යාපනයක් රටේ නිසැකයින්ම හොඳ වේවි.          
    හද්දා පිටිසර ගමකින් අවුරුදු පහකට පස්සෙ කැම්පස් එන්න පාස්වුණු ශිෂ්‍යාවකට කැම්පස් එන්න බැරිවෙන්නෙ ඇයගේ වැරැද්දෙන් නෙමෙයි.තාක්ෂණික දෝෂයකින්.හැබැයි විශ්ව විද්‍යාල පරිපාලන කොමිසමට ගිය ඒ ශිෂ්‍යාවට ඒ උගත් බුද්ධිමත් මහත්තුරු කියන්නේ ඔයා ආපහු පාරක් උසස් පෙළ ලියලා පාස්වෙලා එන්න කියලයි.ඒ වචන ටික කියා ඇති උගත් බුද්ධිමත් මහත්වරුවන්ගේ ඔළුව ඇතුළේ තියෙන මොළයේ දිග පළල ගැන ප්‍රශ්නයක් තියෙනවා.ජපානයේ එක් ශිෂ්‍යාවක් වෙනුවෙන් පමණක් ඇයගේ ඉගනීම අවසන් වෙනකම්ම ඒ ගම්මානයේ දුම්රිය ධාවනය වූ බව ප්‍රකාශ කළා.ඒ ජපානයේ තත්වය.අපේ රටේ උගත් මහත්වරුන්ට ඒ තරමේ පිස්සුවක් නෑ.රට පුරා නොමිලේ වයිෆයි කලාප කෙසේ වුවත් නිවැරදිව සරසවි ප්‍රවේශය ලබා ගන්න ඇයට නොහැකි වූයේ කාගේ වරදින්ද?සීතල කාමරවල ඉඳගෙන මහපොළවේ රළු බවයි ඌෂ්ණ බවයි දැනෙන්නේ නැතිව ප්‍රතිපත්ති සම්පාදනය කරනන්ගේම වැරැද්දෙන්.
                     පාසල් සිසුන්ට ටැබ් දීලා ස්මාට් ක්ලාස් හැදුවා කියලා පාරම්බාන්න කලින් රටක් විදිහට අපිට අධ්‍යාපනයේ දියුණු කරගන්න ඕන තැන් එමට තියෙනවා.තවමත් ඉගෙන ගන්න අකුරක් ලියන්න හරිහමන් ශාලාවක් නැති පයේ දාගෙන යන්න සපත්තු දෙකක් නැති ළමයි ඕනෑතරම් ඉන්නවා.පාසල් අධ්‍යාපනය සීග්‍රගාමී ගමනක යෙදෙනකොට  අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවමත් තියෙන්නෙ හරිම මන්දගාමීව.මේ දෙක හරිම පරස්පරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පැහැදිගිවම අනාගත ලෝකයට ඔබින ලෙස වෙනස් විය යුතුමයි. අධ්‍යාපනය නමට ස්මාර්ට් කරලා ගැලරිය පිනවන්න ප්‍රතිපත්ති හදන පාලකයො රටේ අධ්‍යාපනය ගැන නිවැරදි අවබෝධයකින් කටයුතු කරනවානම් මීට වඩා හොඳ අධ්‍යාපනයක් රටේ නිසැකයින්ම හොඳ වේවි.          


     









හීන හා අරගල

                       පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම...