Powered By Blogger

Tuesday, June 27, 2017

ඇය කවරෙක්ද?

                     



                               
වෛශ්‍යාව එසේත් නොමැතිනම් ගණිකාව,අභිසාරිකාව මෙලෙස විවිධ නාමයන්ගෙන් අපි ඇයව හඳුන්වන්නෙමු.ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ ගණිකාවන් හිඳ තිබේ.එහිදී රාජ මහාමාත්‍ය ආදීහු මොවුන්ගේ සේවය ලබාගෙන තිබේ.එහෙත් කුමන ලෙසකින් හැඳින්වූවද ඔබ අප ඇතුලු සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් ඇයව දකිනුයේ සමාජ පිළිලයක් ලෙසටයි.ඇත්තෙන්ම මේ සමාජය තුළ ඇය කවුරුන්ද?ඇයට හිමි තත්වය කුමක්ද යැයි නිවැරදි දෘෂ්ටි කෝණයකින් යුතුව මඳක් සිතා බැලීමට කාලය අපට අවසර දී තිබේ.
                         දුහුල් ඇඳුමකින් ගත වසාගෙන ගොම්මන් වේලාවන්හිඳී වීදි කෙළවරට වී සිටින්නේ ඇයයි.බොහෝ දෙනෙක් ඇයව දුටුවිට පිළිකුල් කරති.බැණ වදිති.මූණ හකුලා ගනිති.එහෙත් ඔබ අපි සියල්ලන්ම සිතිය යුතු යමක් ඇත.එනම් ඇයද මෙම නරුම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයක් බවයි.එලෙස ඇයව පිළිකුල් කරන,ඇයට බැණ වඳින උගත් බුද්ධිමත් යැයි සමාජයේ නම් දරන බොහෝ පිරිස් ඇය සමඟ රාත්‍රියේ දී කාලය ගතකර ඇගේ ගත මත සැතපී ඇගේ ගත මොණර කොළ වලින් වසා දමන්නේ තම පවිත්‍ර නාමය තවදුරටත් රඳවා ගැනීමේ චේතනාවෙන් යුතුවයි.
                        කාන්තාවක් මෙබඳු ඉරණමකට ගොදුරුවීමට බොහෝ විට ඇය අයත් පවුල් පරිසරය හේතුවූවා විය හැකිය.එහිදී ඇගේ ස්වාමියා විසින් ඇයව නොසලකා හැරීම හේතුවෙන් ඇගේ දරුවන්ගේ කුස පිරවීමට මෙම සමාජ ක්‍රමය තුළ ඇයට වෙනත් රැකියාවක් නොමැති වූවා විය හැකිය.තවද ගමේ සිට නගරයට පැමිණෙන බොහෝ තරුණියන්ට රැකියාවක් සපයාදෙන මුවාවෙන් ඇතැමුන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමිය හැකිය.තවද නිවසට හිතුවක්කාර වී නගරයට පැමිණෙන තරුණියන්ටද මෙම ඉරණම ඇතැම් විට හිමිවිය හැකි අතර තවද කුඩා කල විවිධ අතවර වලට භාජනය වන්නන්ටද මෙම තත්වය උරුම වෙයි. සමාජයේ නූතන ප්‍රවණතාවය වන්නේ මවුපියන්ගේ අකමැත්තෙන් විවාහ වන ඇයව තම ස්වාමියා විසින්ම විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබා ගැනීමත් අවසන ඇය ගණිකාවගේ තත්වයට පත්වීමත්ය.
                  මේ ආදී ලෙසට ඇය ගණිකාවක් බවට පත්වීමට කුමන සමාජ තත්වයක් බලපෑවද කිසිවෙකුගේ දියණියකි.මවකි,බිරිඳකි.බොහෝවිට ඇය මෙම වෘත්තියේ නිරත වනුයේ තම කුඩාවුන් පෝෂණය කිරීමට විය හැකිය.ඒ සඳහා ඇයට අන් මඟක් නොමැති  විය හැකිය.ලංකාවේ මෙම වෘත්තියට පත්වූවන් අතරින් සියයට අනූනමයක්ම තමාට ජීවත්වීමට වෙනත් ස්ථීර රැකියාවක් ලැබේ නම් මෙම ක්‍රියාව අත් හැරීමට කැමැත්තක් දක්වයි.කෙසේ වුවද අප සැවොම සිතිය යුතු යම් කරුණක් ඇත.එනම් යම් කාන්තාවක් මෙම තත්වයට පත්වීමට පවතින සමාජ ක්‍රමය ද ආර්ථික විෂමතාවද හේතුවන බවයි.වෛශ්‍යාවන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ගීතයක මෙසේ කියැවෙයි.
“ළඳුනේ...... ළදුනේ 
ඔබේ දෑස් දැක ගත්තෙමි 
සැඳෑ කලෙක ළඳුනේ ...
දෙනෝ දහක් අතගත්තද
සැමියෙකු නැති ළඳුනේ 
ලැම පමණක් ලොවට පෙනෙන 
ළය නොපෙනෙන ළඳුනේ......”
                  මේ ගීතය ගණිකාවන් පිළිබඳව බොහොම උපේක්ෂාවෙන් යුතුව දකින ගීතයක්.ඇත්තෙන්ම සමාජයේ ජීවත්වෙන විට අපට ඇ පිළිබඳව මේ ලෙසට සිතන්නට නොහැකිද?ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම සමාජයෙන් පැමිණෙන අපවාද ගැරහුම් ආදිය සමඟින් ජීවත් විය යුතුද?ඇය දෙස කවියා විලසින් යම් උපේක්ෂාවකින් බැලිය නොහැකිද?මෙහිදී අප සිතිය යුතු වැදගත් කරුණක් තිබේ.
                 එනම් බොහෝවිට ඇයට බැණවදින අපහාස කරනා උන් ඇගේ පහස විඳින්නට පෙළගැසෙන බවයි.එහෙත් ඔවුන් බොහෝ දුරට සමාජයට තම හොඳ මුහුණ පෙන්වන අතර සියලු අපවාද ගැරහුම් පැමිණෙන්නේ එකී කාන්තාවටයි.මේ ලෙස බලන කල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ වරදකරුවන් නම් ඇගේ සේවය ලබාගන්නා උත්තමයන්ද ඒ ලෙසම වරදකරුවන් නොවේ යැයි කිවහැක්කේ කාහටද?
                      කාන්තාවක් මෙම වෘත්තියේ නිරත වුවද බොහෝ පිරිස් මෙයට නැඹුරු වනුයේ තම කැමැත්තෙන් නොවේ.එහෙත් ඇයට ජීවත් වීමට මෙම ක්‍රියාවේ දිගින් දිගටම නිරත වීමට සිදුවී තිබේ.ඉහත කවියේ පැවසෙන ආකාරයට ඇගේ ලැමෙහි තම සිරුර සතපවා ගන්නා උගත් පිරිස් ඇගේ ළයෙහි පවත්නා දුක් ගින්දර නොදකිති.මෙය වත්මන් සමාජ විෂමතාවයයි.ඇය වක්‍රාකාරයෙන් හෙළිදරව් කරනුයේ අප සමාජ ක්‍රමයේ දුබලතාවය නොවේද?ඇය කරන වෘත්තිය යහපත් හෝ උසස් ලෙස දැකීමට යැයි මම නොපවසමි.ඇය මෙම තත්වයට පත්වීමට හේතුවන්නේ බොහෝ විට පවත්නා සමාජ විශමතාවයන් නිසාය.ඇය පිළිබඳව යම් අනුකම්පාවකින් හෝ උපේක්ෂාවකින් හෝ දැකීමට හැකිනම් සමාජයේ යහපත් ලෙස අපට යම් තරමකට හෝ සතුටු විය හැකි නොවේද?මඳක් සිතන්න?දැන් සිතා බැලීමට කාලයයි.



1 comment:

හීන හා අරගල

                       පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම...