Powered By Blogger

Wednesday, June 14, 2017

නොනවතින රැවටීම

            


                                      ආණ්ඩු මාරුවෙනවා පක්ෂ හැදෙනවා,ඒ පැත්තේ ඇමතිවරු අනිත් පැත්තට එනවා.අනිත් පැත්තෙ අය ඒ පැත්තට යනවා.මිනිස්සුන්ට පොරොන්දු දෙනවා,ඡන්දය දිනනවා.මේ හැම එකක්ම අපේ රටේ මිනිස්සුන්ට හරිම හුරු පුරුදුයි.හරියට උදේට දවල්ට,රෑට කන කෑම වගේ.කොහොම වුණත් මේ හැමදේම අස්සේ තාමත් එදා වගේම ජීවත් වෙන්න සටන් කරන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට.එහෙම නැතුව උදේට මැක්ඩොනල්ඞ් එකෙන් කාලා දවල් කෑමටත් දාස් ගාණක් වියදම් කරන ලොකු මිනිස්සුන්ට නෙවෙයි.එක වේලක් කන්න දාස් ගාණක් වියදම් කරන මිනිස්සු අතරේ තවමත් බත් ඇටයක් කන්න හීන දකින මිනිස්සු අපේ රටේ ජීවත් වෙනවා.
                   හැමදාම බලයට පත්වෙන පාලකයො කරේ දැන් කරන්නෙත් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක.මීතොටමුල්ලෙ කුණු කන්ද පෙන්න පෙන්න මං මේක මේ ඡන්දෙන් දිනපු ගමන්ම මෙතනින් අයින් කරනවා කියපු පාලකයන්ට තමන් ඡන්දය දීනලා සතියක් යන්නත් කලින්ම ඒක අමතකයි.ඒක තමයි මේ පාලන ක්‍රමය.ඒ වගේ දේවල් පාලකයන්ට අමතක වෙන්න  තියෙන්නේ ප්‍රධාන හේතුවක්.ඒ තමයි කුණු කන්ද එතන තිබ්බොත් ඊළඟ ඡන්දෙනුත් ඒ මිනිස්සුන්ට පොරොන්දු ටිකක් දිලා දිනන්න පුළුවන්.කුණු කන්ද අයින් කළොත් දිනන්න තියෙන අවස්ථාව නැති වෙනවා.අන්තිමට කුණු වලට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන තත්වෙට පත් වුණෙත් අහිංසක මිනිස්සු.මිනිස්සු අවුරුදු ගාණක් තිස්සෙ ඉඳලා එන මේ ක්‍රමයට  දැන් හුරු වෙලා.ඒ හින්දම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තත්වෙට මිනිස්සු පත් වෙලා තියෙන්නෙ කාලයත් එක්කමයි.
                         අපි බොන වතුර ටිකට,කන බත් ඇටයට,සෞඛ්‍යට,අධ්‍යාපනයට මේ හැම දේටම මේ වෙනකොටත් මිලක් නියම වෙලා ඉවරයි.ඒක තමයි මේ ක්‍රමයෙ හැටි.රජරට ගොවියා තමන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් නැතුව වකුගඩු ප්‍රශ්නෙන් අවුරුදු ගාණක් දුක් විඳිද්දී පාලකයන්ට ඒවා දැනෙන්නේ නැද්ද?අධ්‍යාපනයට මිලක් නියම කරලා එක එක ප්‍රමිතියක් නැති උපාධි කඩ දාලා තවමත් යම් තරමකට හරි ඉතුරුවෙලා තියෙන නිදහස් අධයාපනය,සෞඛ්‍ය විකුණන්න හදන ප්‍රතිපත්ති ගේන්නෙ ඇයි?අද අපට මේ හැමදේම ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා.රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා පොරොන්දු වුණ පාලකයන්ට උපාධිධාරියාට සුදුසු රැකියා දෙන්න බැරි වුණේ ඇයි?ඇත්තටම මේ වගේ ප්‍රශ්න එනකොට හැමදාම වගේ බලයට එන ආණ්ඩු කරේ ප්‍රශ්න යට ගහලා තිත්ත ටොෆියක සීනි තවරලා මිනිස්සුන්ට ගිල්ලවන එක නේද?පාලකයො එක එක ආණ්ඩුව අතරෙ බෝලය පාස් කරන සෙල්ලමේදී හැමදාම වගේ ප්‍රේක්ෂකයො බවට පත්වෙන්නෙ සාමාන්‍ය ජනතාව.  
                     තමන්ට දරා ගන්නත් බැරි තරම් බදු බරක් අද වෙකොට ජනතාව මත පැටවිලා තියෙනවා.පාලකයන්ට බදු රහිත වාහන ගේනකොට සාමාන්‍ය මඟියා ගමන් කරන බස් ගාස්තු වැඩිකරනවා.ඉතින් මේ වගේ දේවල් කොච්චර නම් සාධාරණද?ඖෂධ ප්‍රතිපත්තියක් ගේනවා කියලා බලයට පත් වුණ ආණ්ඩුවට තවමත් කියපු විදිහට ඖෂධ ප්‍රතිපත්තියක් ගේන්න බැරි වෙලා තියෙනවා.හැමදාම වගේ බලයට එන ආණ්ඩු පවතින්නේ ජනතාවගේ බදු සල්ලි වලින්.හැබැයි ඒක ජනතාවට දරන්න පුළුවන් විදිහට කරගෙන යන්න පාලකයන් උපක්‍රමශීලී වෙන්න ඕන. පොරොන්දු දාහක් මිනිස්සුන්ට දීලා බලයට එන ගොඩක් පාලකයන්ට අන්තිමට එක පොරොන්දුවක් හරි මතක තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
             අධ්‍යාපනය,සෞඛ්‍ය,බලශක්තිය වගේ රටේ ප්‍රධාන ක්ෂේත්‍රවල ගැටලු පාලකයන්ට හැමදාම විසඳන්න බැරි වෙන්නේ ඇයි?බලයට පත් වෙන හැම ආණුඩුවක්ම වගේ කරන්නේ තමන්ගෙ අවුරුදු ගාණ ඇතුළත කොහොම හරි රෝල ගහගෙන අනිත් කෙනාට රට බාරදෙන එක.ඔවුන් ඒකෙදී තීරණ ගන්නෙ රටේ ජනතාව ගැන හිතලා නෙවෙයි.තමන්ගෙ දීර්ඝ කාලීන පැවැත්ම ගැන හිතලා.ඉතින් එහෙම වෙනකොට අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පැවතීමත් දරාගන්න බැරි තරමට අධික ණය බරකින් පෙළෙන එකත් ඒ තරමටම පුදුම වෙන්න දෙයක් නෙමෙයි.ඉතින් මේ හැමදෙයක්ම අස්සේ තාමත් එදා වගේම වැඩිපුරම අසාධාරණයට ලක්වෙන්නෙ කවුද?සාමාන්‍ය ජනතාව වෙන අපිට ඒ ගැන බුද්ධියෙන් විමසන්න කාලය ඇවිත්.  


4 comments:

හීන හා අරගල

                       පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම...