Powered By Blogger

Tuesday, June 27, 2017

හීන හා අරගල

                     









 පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම ඒ හීනෙ හැබෑ කරගන්න අපි උඹලා හැමෝම මේ මහා සමාජයේ ඇතුළෙ එහෙට මෙහෙට විසිවෙලා තැලිලා පොඩිවෙලා අනිත් උන් වගේම ජීවිතේට බලාපොරොත්තු එකතු කර ගත්තා.අපේ භාෂාවෙන් කියනවාවම් මාර කට්ටක් කාලා අන්තිමට කැම්පස් ආපුහම උඹලා අපි හැමෝටම හිතුණේ දැන් ඒ හීනෙ හැබෑ කරගන්න තියෙන හොඳම පාර හැදිලා ඉවරයි කියලා.හැබැයි කැම්පස් ඇවිත් මාසයක් යන්නත් කලින්ම කැම්පස් ගොඩක් උන්ට ඒක එහෙම නෙමේ කියලා තේරෙන්න පටන් ගන්නවා.
                   කවදහරි ලස්සනට ටයිල් අල්ලලා හදලා තියෙන ගෙදරක ජීවත් වෙන්න,ලස්සන වාහනයක් ගන්න,ගිනි අව්වෙ පිච්චි පිච්චි අතේ කරගැට එනකම් වැඩ කරන අහිංසක අප්පච්චිට ආඩම්බරයක් වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න හැමදාම කැම්පස් එන්න කලින් කකුල් දෙක අල්ලලා වඳිනකොට ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අනේ මගෙ පුතාට තෙරුවන් සරණයි කියන අම්මට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් වෙන හොඳ රස්සාවක් කරන්න අන්න ඒ වගේ පුංචි හීන ගොඩාරියක් අපේ හිත්වලත් කැම්පස් එද්දී තිබුණා.හැබැයි කැම්පස් ආවට පස්සෙ ඒ හීන හැබෑ කරගන්න පාර කපාගන්න එකම ජීවිතේ නෙමේ කියලා අපිට තේරෙනවා.අපේ අහිංසක අම්මා අප්පච්චි වගේ තවත් මේ මහා සමාජයේ ඉන්න ඒ වගේ අහිංසක මිනිස්සු ඒ වගේම රටේ හිඟන්නගේ ඉඳලා මහා ධානපතියා දක්වා හැමෝම අපිට උගන්නන්න වෙහෙසෙනවා.ඉතින් අපි අපේ බලාපොරොත්තු ටිකක් වෙනුවෙන් විතරක් වැඩ කරන එක යුක්ති සහගතද කියලා හිතන්න කාලය ඇවිත්.
                         ගමේ ඉන්න අහිංසක ගොවියගෙ පුතත් ගොවියෙක්ම වෙන්න ඕනෙද?එයාට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන්න බැරිද?බස් එකේ කොන්දොස්තර,පාරෙ හිඟාකන මනුස්සයාගෙ ළමයි,බස් එකේ ස්විප් විකුණන අක්කගෙ ළමයිනුත් ඉගෙනගන්න ඕනෙ නේද?හැබැයි නිල ඇඳුම් ක්‍රමය වෙනුවට වව්චර් දෙද්දී ඉස්කෝලෙට යන දුප්පත් ළමයින්ගෙන් ඒ ඉස්කෝලෙට තීන්ත ගාන්න,ඩෙස් පුටු ගන්න කියලා හැමදාම සල්ලි ඉල්ලනකොට ,ඒ ඉස්කෝලෙම පහසුකම් ගාස්තු එන්න එන්නම වැඩි වෙද්දී 5 වසරේ ශීෂ්‍යත්වෙ පාස්වුණු ළමයා අලුත් ඉස්කෝලෙට ගනිද්දී පගාව ඉල්ලනකොට අහිංසක මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වෙනවා.ගොඩක් වෙලාවට වෙන්නෙ ඒ මින්ස්සුන්ගෙ ළමයි ඉගෙන ගන්න එක පැත්තකට දාන එක.ඉගෙනීම කියන්නෙ රටේ හැමෝගෙම අයිතියක්.ඒත් මේ වගේ තත්ව ඇතිවෙනකොට වෙන්නෙ ඒ අහිංසක ජනතාව ඒ අයිතිය අත්හරින එක නේද?
               ගමේ ජීවත්වුණු අපිට කොළඹ අහස යට ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා තේරෙන්න කැම්පස් ඇවිත් වැඩිකල් ගතවුණේ නෑ.එක එක විදිහේ මිනිස්සු පාට පාට සරුංගල් වගේ එහෙට මෙහෙට වෙවී ලස්සන ඇඳුම් ඇඳගෙන පාරෙ එහාට මෙහාට යනකොට හැමදාම එකම ඩෙනිමයි,ටී ෂර්ට් දෙක තුනකුයි රබර් සෙරප්පු දෙකයි දාන අපේ හිත පොඞ්ඩක් නවතිනවා.රටේ එක පැත්තක ඉන්න සුපිරි මිනිස්සු තමන්ගෙ එක වේලක් කන්න තරුපහේ හෝටල්වලට ගිහින් දාස් ගණන් වියදම් කරද්දී ඒ රටේම ජීවත්වෙන උඹලා අපි වගේ මිනිස්සු වේල් දෙකක් බඩගින්නෙ ඉඳලා එක වේලක් කාලා දවස යාන්තමට ෂේප් කර ගන්නවා.මහපොළ හම්බවෙකන් දවස් ගණන් කර කර අතේ සතේ නැතුව ඉන්නත් සමහර වෙලාවට ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් කරන්නත් අපිට වෙලා තියෙන්නෙ පවුල ගොඩදාන වගකීමත් අපේ පිට පැටවිලා තියෙන හින්දා.අවුරුද්දට ලස්සන ඇඳුමක් ගන්න,ගමට යනකොට අම්මටයි අප්පච්චිටයි අලුත් ඇඳුමක් අරගෙන යන්න අපිත් ආසයි.හැබැයි අද අපිට ඒවා හීන විතරක්ම වෙලා අපේ ජීවිත අස්සෙම දියවෙලා ගිහින්.
                 දැන් අපිට හිතන්න අලුත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.සයිටම් වගේ උපාධිකඩ තියෙනකොට ජනතාවට මොකද වෙන්නෙ.ඒවාට ලක්ෂ ගණන් ශිෂ්‍යයො බඳවා ගනිද්දී ගොවියාගෙ කම්කරුවාගෙ දරුවො ඇතුල් වෙන රජයේ කැම්පස් වලට ඇයි අඩුවෙන් ශිෂ්‍යයො ඇතුළත් කර ගන්නෙ.පෞද්ගලික උපාධිකඩවලට රජය ලක්ෂ ගණන් වලින් වියදම් කරද්දී කැම්පස් ඇතුළෙ තියෙන අඩුපාඩු වලට පිළයම් කරන්නෙ නැත්තෙ ඇයි?මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න දැන් කාලය ඇවිත්.

7 comments:

හීන හා අරගල

                       පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම...