Powered By Blogger

Monday, June 5, 2017

නූතන විවාහයේ යථාර්ථය


                     








                         

විවාහය යනු අතිපූජනීය වූ බැඳීමකි.එහෙත් වර්තමානය වන විට විවාහයටද වාණිජවාදී මුහුණුවරක් ආරෝපණය වී අවසන්ය.ඒ තුළ සම්ප්‍රදායික විවාහය තුළ තිබූ සිරිත්,විරිත්,විශ්වාස,බැඳම් ආදී සෑම සියලු දෙයක්ම නවීකරණයට බඳුන් වී ඇත.
                    අද වන විට විවාහය යනු වෙනස්ම ආකාරයේ සංස්කෘත අංගයක් බවට පත් වී ඇත.මෙහිදී එයට සහභාගී වන පිරිස් හට එදිනට ඇඳීමට අවශ්‍ය වන ඇඳුම පවා පැහැදිලිව කියාපෑමට ආරාධනා පත කටයුතු කරනු ඇත.එමෙන්ම ඔවුන් හිඳ ගත යුතු ආසනය පවා ආරාධනා පතෙහි සටහන් කිරීමට විවාහය අයත් පාර්ශවය කටයුතු කරයි.තවද විවාහයන් විවිධ තේමා යටතේ පැවැත්වීම වර්තමානයේ දක්නට ලැබෙන නව ප්‍රවණතාවයකි.එහිදී මෙවැනි දේවල් සාමාන්‍ය ජනයා අතරට පවා පැමිණීම සිදුවන්නේ මාධ්‍ය විසින් ඒවාට දෙනු ලබන දැඩි ප්‍රචාරණය නිසාය.
              සුඛෝපභෝගී ජීවිත ගත කරන බොහෝ දෙනෙකුගේ විවාහයන් විවිධ මාධ්‍ය ආයතන විවාහයන් තේමා කරගත් වැඩසටහන් තුළින් විකාශය කෙරෙන අතර අනිත් පිරිසගේ සිත් තුළටද මෙවැනි විවාහයන් ගැනීමේ සිහිනයන් ඇතුළත් කිරීමට ඔවුහු කටයුතු කරනු ලබයි.කෙසේ වුවද එම මාධ්‍යයන් මූලිකවම ක්‍රියා කරනුයේ විවාහය යන බැඳීමට වටිනාකමක් දීමට නොව විවිධ ව්‍යාපාරික ප්‍රජාවන් වෙත ප්‍රචාරණයක් ලබාදීම බව නොවැටහීම  කණගාටුවට කරුණකි.
                  එපමණක් නොව වර්තමානය වන විට විවාහයේ ඡායාරූප ගැනීමටද අඳාල පිරිස් විශාල මුදලක් වැය කරනු ලබන අතර විවාහයේ සෑම දෙයක්ම සිදු කරනු ලබන්නේ ඡායාරූප ශිල්පියාට අවශ්‍ය පරිදිය.බොහෝ විට ඡායාරූප ශිල්පියා විවාහයේ අත්තිකාරමක් ලෙස විශාල මුදලක් අඳාල පාර්ශවයෙන් ගනු ලබන්නේ ඡායාරූප ඇල්බමය ලබා දීමට ගතවන මාස කිහිපය ඇතුළත වුවද අඳාල මනාල යුවල තම විවාහය දික්කසාදයකින් කෙළවර කරගෙන තිබුණහොත් තමාට විශාල මුදලක් අහිමි වන බැවිණි.
                   ඇඳුම් පැළඳුම් සඳහා විශාල වියදමක් දැරීම වර්තමානයේ විවාහ යුවලවල් සිදු කරති.තම මංගල සාරියට ඇතැම් විට මිලියන ගණන් වියදම් කළ පුවත් පසුගිය සමයේ මෙරටින් වාර්තා වූයේ දුටුවන් සිනහ උපදවමිනි.ඇත්ත වශයෙන්ම තම මංගල සාරියට එතරම් මුදලක් වැය කිරීම අවශ්‍ය දැයි සිතා බැලිය යුත්තකි.තම විවාහය සඳහා අවශ්‍ය තරමටත් වඩා විශාල වියදමක් කරන පිරිස් තම විවාහය සාර්ථකව මාස 6ක් පවත්වා ගැනීමට ඇතැම් විට අසමත් වෙයි.මක් නිසාද යත් ඔවුන්ගේ සිතුම් පැතුම් ආදී සෑම සියලු දෙයක්ම වාණිජකරණයට ලක්ව ඇති නිසාය.කෙසේ වුවත් මාධ්‍ය මෙහිදී විශාල කර්තව්‍යක් ඉුටු කරනු ලබන අතර ඔවුන් මූලිකවම නිරත වනුයේ යෞවන  යෞවනියන්ගේ සිහින අලෙවි කිරීමේ ක්‍රියාවලියකය.
             වර්තමාන තරුණ පිරිස් වටහා ගත යුත්තක් පවතියි.එනම් තම විවාහය අති විශාල ශාලාවක අති විශාල වූ වියදමක් දරා සිදු කළද විවාහය සාර්ථක කර ගැනුමටද කටයුතු සිදු කළ යුතු බවයි.විවාහයට වියදම් වූ මුදල එය සිදු කළ ආකාරය ගැන ලොවට ලෙනෙන්නට පාරම් බෑවද විවාහ වන දෙදෙනා අතර විශ්වාසය,අවබෝධය එකිනෙකා අතර හැඟීමක් නැත්නම් තම විවාහයට සිදු කළ අති දැවැන්ත වියදමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැත්තේය.කෙසේ වුවද මෙලෙස විශාල මුදලක් වියදම් කොට ලොවට පෙනෙන්නට සිදු කරනු ලබන විවාහයන්වල බොහෝ විට පෝරුවට නඟිනු ලබන මනාලියගේ පවිත්‍රතාවයද ගිලිහී ගොස් ඇත.එහෙත් ඔවුන් මේ සියල්ල ඉවත දමා තම විවාහය කාහටත් නොදැවෙනි සේ ඉටුකර ගැනීමට උත්සුක වනුයේ විවාහයේ සැබෑ අරුත හෝ වටහා නොගනිමිනි.
                අතීතයේ විවාහය තුළ තිබූ සරලත්වය,සිරිත්,විරත්,විශිවාසය,බැඳීම් ආදී බොහෝ දේවල් වර්තමානය වන විට ක්ෂය වෙමින් පවතින්නේය.ඇතැම් විට මෙම බොහෝ චාරිත්‍ර යුරෝපීකරණයට හසු වී ඇති අතර තරුණ පිරිස් මෙවැනි දේවල් ඵල රහිත හණමිටි ක්‍රියාවන් ලෙස ගනිමින් ඇතැම් යුරෝපීය දේවල් තම විවාහයට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබන්නේය.ඇතැම් විට මෙය ඔවුන්ගේ බුද්ධි මට්ටම පිළිබඳව ප්‍රශ්නයක් වන අතර ඔවුන්ගේ මවුපියන්ද මෙයට යම් තරමකට වගකිව යුතුයි.  

No comments:

Post a Comment

හීන හා අරගල

                       පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම...