Powered By Blogger

Saturday, June 3, 2017

ජුකී මැෂිමට දියවෙන ජීවිත

                     











                               

                                        ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි.එහිදී මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්ත අතර ඇඟලුම් කර්මාන්ත සේවය විශේෂිතයි.52% ක් පමණ කාන්තාවන් ජීවත් වන අතර ඒ අතරිනුත් ඔවුන් බොහෝ දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කිරීමට දිනපතාම පැමිණෙයි.මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රමුඛ රැකියාවක් වන ඇඟලුම් කර්මාන්ත සේවාවට බොහෝ කාන්තාවන් එක්ව සිටියද බොහෝ විට සමාජයක් ලෙස ඔවුන් පිළිබඳව කතා කරනු ලබනුයේ ඉතා අවම වශයෙනි.
   
               ඉකුත් 08 වනදා අප සැමරීමට යෙදුණේ ජගත් කාන්තා දිනයයි.එම දිනයේදී බොහෝ මාධ්‍යයන් කාන්තාවන් ප්‍රමුඛ කරගත් විලාසිතා,සූපවේද ක්‍රම,රූපලාවන්‍ය වැනි වෙළඳ ව්‍යාපාරිකයන් පොහොසත් කරවන වැඩසටහන් දියත් කරමින් කාන්තාවන් රවටන්නට වූවේ තරඟයට මෙනි.එදින බොහෝ කාන්තාවන්ද මාධ්‍යන්ගේ යටි අරමුණ නොදැන රූපවාහිනී තිරය ඉදිරියට වී දෑස් දල්වා බලා සිටියද රටේ තවත් කොනක සිටින එවැනිම කාන්තාවෝ පිරිසක් ජුකී මැෂිමක් ඉදිරිපිට හිඳ තම ශ්‍රමය වගුරවති.
                         සමාජයක් ලෙස ගත් කළ අද වන විට කලාප යුවතියන්ට ඇති පිළිඟැනුම කෙබඳුදැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත.ඒ නමුත් දිනකට වෙළඳ කලාපය ප්‍රධාන කොටගත් එවැනි ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයක සේවාව සඳහා තරුණියන් බොහෝ ප්‍රමාණයක් ඇඳී එයි.එහිදී ඔවුන් රැකියාව කරමින් ජීවත් වීමට සිදුවන කුලී කාමරයේ ඇත්තේද අවම පහසුකම්ය.එවැනි ස්ථාන වල සෞඛ්‍ය තත්ත්වයේ ඇත්තේද අවම පහසුකම්ය.ඒ තැන්වල සෞඛ්‍ය තත්ත්වය,සනීපාරක්ෂාව,ඉතාමත් දුර්වල මට්ටමක පවතියි.ඒ නමුත් එය ඔවුන්ගේ අසරණකම නොවේද?ජුකී මැෂිමක් ඉදිරිපිට දෙකකුල් වේදනා විඳිමින් සිටගෙන සිටීමට යුවතියකට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.එහෙත් ඔවුන් මෙය කළ යුතුව ඇත.
                 බොහෝ විට තරුණියන් වෙළඳ කලාපයේ රැකියාවට පැමිණෙනුයේ තම කුඩා නංගිලා මල්ලිලාට උගැන්වීමටයි.සරසවියේ ඉගෙන ගන්නා තම සහෝදරයාට ඉගැන්වීමටයි.තම අසරණ මවට පියාට සරණක් වීමටයි.ලෙඩින් ඔත්පල වී සිටින මව රැකබලා ගැනුමටයි.බොහෝ කලාප යුවතියන්ගේ පවුල් යථාර්ථය එවැනිය.එහෙත් කොළඹ අහස යට මනුෂ්‍යත්වය සින්නක්කරට දී රුපියල් සත පසුපස හඹා යන බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ ජීවන යථාර්ථය නොවැටහේ.
               වර්තමානයේ ජීවත් වන තරුණයෙකුගෙන් නිකමට හෝ අසා බැලුවහොත් ඔහු කෙදිනක හෝ විවාහ වන්නේ කුමන ආකාරයේ තරුණියක් සමඟදැයි කියා ඔහු බොහෝ විට පවසන්නේ හොඳින් අඳින පළඳින පොෂ් කෙල්ලක් සමඟින් කියාය.ඔවුන් ගාමන්ට් කෙල්ලක් විවාහ කර ගැනීමට බොහෝ විට නොසිතනු ඇත.මෙයට වසර කිහිපයකට ඉහතදී පැවසූවේ කොල්ලා ආමි කෙල්ල ගාමන්ට් නියමෙට ගැළපෙන ජෝඩුව ලෙසය.වෙළඳ කලාපයේ රැකියා කරන තරුණියකට සමාජයේ ඇති පිළිඟැනුම අද තෙක්ම වෙනස් වී නොමැත.
                  සමාජයේ බොහෝ උගත් බුද්ධිමතුන් සිතනුයේ හරිහැටි උගත්කමක් නොමැති මෝඩ පිරිසක් එහි සේවයට යන බවයි.එහෙත් එවැනි උන් බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රාශියක් ඇත.කලාපයේ රැකියාව කරන තරුණියන් අතර අප වැනි සරසවිවල ඉගෙනුම ලැබූවන්ද සිටියි.උපාධිය ලබාගෙන රැකියාවක් ලැබෙන තෙක් තවත් වසර ගණනක් නිවසට බරක් විය නොහැකි තරුණියන් අවසන තීරණය කරන්නේ කුමක්ද?වෙලඳ කලාපයේ රැකියාවට යාම නොවේද?
                වෙළඳ කලාපයේ තරුණියන් බොහෝ විට අතිකාල වැඩද කරනු ලබයි.එවැනි දිනවල ඇතැම් විට ඔවුනට නවාතැනට ඒමට ලැබෙන්නේ රාත්‍රී 10 පමණ වන විටයි.මෙවැනි තත්ත්වයක් යටතේ වුවද ඔවුන්ගේ සේවාව ලබාගන්නා කිසිදු ආයතනයක් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකියනු නොලබයි. දිවා රාත්‍රිය නොලබමින් ජුකී මැෂිම තම ජීවිතයම කර ගනිද්දී බොහෝ විට ඔවුන්ගේ සේවාව ලබාගන්නා ආයතනය ශ්‍රමයට සරිලන වැටුපක් හෝ නොගෙවයි.
                  කුඩා කල වර්ෂාවක් පවතින විට අප බොහෝ දෙනෙකු කඩදාසි බෝට්ටු සාදා තරඟයට මෙන් ගලන ජල පහරට බෝට්ටු දමන්නේ ඒවා දියේ ගිලෙන බව දැනගෙනය.නමුදු අප ඒ සතුටට ආදරය කරන්නෙමු.එවැනි සුන්දර අතීතයක් ඔබ අප ඇතුළු බොහෝ දෙනෙකුට අයිතිව තිබුණි.කලාප යුවතියන්ටද තමන්ගේ ජීවිතයට මහා ලොකු බලාපොරොත්තු නොවුණත් ඔවුන්ටද තමන්ටම කියා පුංචි හීන ලෝකයක් ඇත.ඔවුන් ජකී මැෂිම ඉදිරිපිට හිඳ කරනුයේ එම සිහින ඇහිදීම නොවේද?එහෙත් අප ජීවත් වන සමාජයේ මිනිසුන් බොහෝ දෙනා මනිනු ලබන්නේ බාහිරිනි.පුද්ගලයා උසස් හෝ පහත් වන්නේ ඔහු කරනා රැකියාව අනුවද?රටක් සංවර්ධනය කිරීමට සුවිශාල මෙහෙයක් කරනා කලාප යුවතියන් පිළිබඳව ඔබ තවමත් සිතිය යුත්තේ එසේමද?





1 comment:

හීන හා අරගල

                       පුංචි කාලෙ ඉඳලා අපිට හරි ලස්සන හීනයක් තිබුණා.අපි දැකපු ඒ හීනෙ කළුද සුදුද කියලා අඳුරගන්නත් බැරි කාලෙ ඉඳන්ම...